මම හරි ආසයි කවිබණ අහන්න. ඉතින්.. පෝය දවස්වලට පන්සල්වල කවිබණ කියනවනෙ. මම පන්සලේ සිල් ගන්නෙ ඒ කවිබණ අහන්නම තමයි. බණ අහන්නනම් මම එච්චර ආස නැහැ. සමහර වෙලාවට බණ යද්දී ළමයි නිදි. එහෙම නැත්නම් පන්සල්වත්තෙ සෙල්ලම් කරනවා. හැබැයි ඉතින් කවිබණ කියන වෙලාවටනම් මම ඉස්සරහට වෙලා ඒ කවිබණ අහනවා. මම පන්සලේ, ඉස්කෝලෙ, දහම්පාසලේ සිල් අරගෙන තියෙනවා. මෑත කාලයේනම් සිල් ගන්න ලැබුණෙ නැහැ. හැබැයි පන්සල්නම් යනවා.
පොඩි කාලෙත් මම වෙසක් එකට වෙසක් කූඩු හදලා තියෙනවා. දැනටමත් මම වෙසක් කූඩු හදනවා. මම තනියම හදන්නෙ නැහැ. මගේ නෑදෑයො, අපි කට්ටියම එකතුවෙලා තමයි වෙසක් කූඩු හදන්නෙ. සිංහල අලුත් අවුරැද්ද ඉවර වෙද්දීම අමුතු සුළඟක් එක්ක වෙසක් අසිරිය අපිට දැනෙනවනෙ. ඒක දැනට වඩා ඉස්සර අපිට දැනුණා. අපි පොඩි කාලේ “මේ කාලෙට වෙසක් නේද?” කියන හැඟීම අපිට දැනෙනවා. මම දන්සල් හැම අවුරැද්දෙම ගිහින් තියෙනවා. සමහර දන්සල්වලින් අයිස්ක්රීම් දෙක තුන කාලත් තියෙනවා. ඒ අත්දැකීම් හරි සුන්දරයි.