මෑතකදී කලා ක්ෂේත්රයට එක්වූ නවක රංගන ශිල්පිනියන් අතරේ සචිනි රුවන්තිකාට විශේෂ තැනක් හිමිවේ. හිරු රූපවාහිනි නාළිකාවේ දිගහැරෙන ‘හුස්මක් තරමට’ ටෙලි නාට්‍යයේ ‘අසලී’ ලෙස රංගනයෙන් දායක වෙන ඇය මීට පෙරද ටෙලි නාට්‍යය, වෙළෙඳ දැන්වීම් හා ගීත රූප රචනා බොහෝමයක් සඳහා සිය දායකත්වය සපයා තිබේ. මේ දිග හැරෙන්නේ ඇය සමග කළ කතාබහකි.
‘අසලී’ චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
‘හුස්මක් තරමට’ ටෙලි නාට්‍යයේ දැනට කොටස් කිහිපයයි විකාශය වුණේ. නමුත්, රසික ප්‍රතිචාර නම් ඉහළින්ම ලැබෙනවා. ලැබෙන රසික ප්‍රතිචාරවලදී බොහෝ දෙනෙක් කියන්නේ මම ‘අසලී’ චරිතය හොඳට කරනවා කියලා.
‘හුස්මක් තරමට’ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්නේ?
මම රැකියාවක් කරමින් හිටියේ. එක්වරම මම ඉන් ඉවත් වෙලා වෙනත් රැකියාවකට යන්න සූදානමින් සිටියේ. ඔය අතරේ තමයි රවින්ද්‍ර විජේරත්න මහත්මයා මට කතා කරලා කිව්වේ ‘හුස්මක් තරමට’ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න කියලා. මම ඔහුගේ රංගන වැඩමුළුවලට සම්බන්ධ වෙලා හිටියා. බොහෝ විට එම වැඩමුළුවලදී මගේ රංගන හැකියාව ඔහු තේරුම් ගන්න ඇති. ඒ අඳුනාගැනීම මත තමයි මේ චරිතය ලැබුණේ කියලා මම හිතනවා.
‘අසලී’ගේ චරිතයට සමානද ශෂිනි?
‘අසලී’ කියන්නේ සිය පෙම්වතාගෙන් ආදරය ඉල්ලගෙන යන කෙනෙක්. මම නම් එහෙම නැහැ. නමුත්, ‘අසලී’ ළඟ තියෙන සමහර ගති පැවතුම් මට තියෙනවා. ඒ අතින් මමයි, ඇයයි සමානයි කියලා හිතෙනවා.
දිගටම රඟපාන්නද අදහස?
‘හුස්මක් තරමට’ ටෙලි නාට්‍යයේ ‘අසලී’ කියන චරිතයට ලැබෙන රසික ප්‍රතිචාරත් එක්ක දිගටම කලාවේ රැඳෙන්න හිතුණා. නමුත්, මම කැමතියි ගුණාත්මක නිර්මාණවලට පමණක් දායක වෙන්න. එක දිගටම මම කලාව නිසා කාර්ය බහුල වෙන්නත් කැමති නැහැ. දැනට විකාශය වෙන ‘හුස්මක් තරමට’ ටෙලි නාට්‍යයෙන් පස්සේ තමයි ආයෙත් අලුත් වැඩක් භාරගන්න හිතාගෙන ඉන්නේ.
කලාවට සම්බන්ධ වුණ එක ගැන ඔබට හිතෙන්නේ?
ඇත්තටම මම පාසල් යන කාලේ ඉඳලා රඟපෑවා. ඒ තිබුණ කැමැත්ත නිසාම තමයි වැඩිදුරටත් රංගනය ගැන ඉගෙන ගන්න රවින්ද්‍ර විජේරත්න මහත්මයාගේ වැඩමුළු හා පාඨමාලා හදාරන්න ගත්තේ. ඒ කළ කැපවීම්වල ප්‍රතිඵලය අද ලැබිලා තියෙනවා. රංගන ශිල්පිනියක් විදිහට අද මාව යම් පිරිසක් අඳුන ගෙන තියෙනවා.
ටෙලි නාට්‍යය හා චිත්‍රපට ගත්තොත් ඔබ වඩා කැමති?
මම කැමතියි ඒ ක්ෂේත්‍ර දෙකේම වැඩ කරන්න. දැනට මම ටෙලි නාට්‍යයවල රඟපානවා. ඉතින් ඉදිරියේදී සිනමාවටත් එකතු වෙන්න බලාපොරොත්තු වෙන් ඉන්නවා. හැබැයි මම මුලින් සඳහන් කළා වගේ හොඳ නිර්මාණවලට තමයි මම මූලිකත්වය දෙන්නේ. ලැබෙන හැම නිර්මාණයක්ම භාර ගන්නේ නැහැ.
නවකයෙක් විදිහට ක්ෂේත්රයේ අනිත් අයගෙන් ලැබෙන සහය කොහොමද?
‘හුස්මක් තරමට’ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කරන රවින්ද්‍ර විජේරත්න මහත්මයා ඇතුළු නාට්‍යය කණ්ඩායමේ හැමෝම හොඳ සහයෝගයක් මට ලබාදෙනවා. මේ අවස්ථාවේදී ඒ හැම දෙනාවම මතක් කරන්න ඕනි. ඒ වගේම මා සමග රඟපාන ගයාන් අයියා, සංගීත් අයියා මේ හැමෝම මට ගොඩක් උදව් කරනවා. ඔවුන්ට අමතරව මාව මේ නිර්මාණයට තෝර ගත් හිරු රූපවාහිනි නාළිකාවේ සැමටත්, තරංග දිසානායක මහත්මියටත් විශේෂයෙන්ම ස්තුති කරනවා.
බුද්ධික සේනාධීර