ඇමෙරිකාවට ආදායම් බදු ගෙවන බ්‍රිතාන්‍යයේ අලුත් කුමාරයා
Tuesday, 14 May 2019 - 12:42 | Views - 2,885
බ්‍රිතාන්‍ය රජ පවු‍ලේ තොරතුරු පිළිබඳ උනන්දුව දක්වන සති කිහිපයක් පුරාම මහත් කුතුහලයෙන් සහ අවධානයෙන් බලා සිටි අවස්ථාව පසුගිය 6 වෙනි දින බ්‍රිතාන්‍යයේ වේලාවෙන් අලුයම 5.26 ට උදාවිය. ඒ හැරී කුමරුගේ බිරිඳ මේගන් මාර්කල් ඔවුන්ගේ කුළුඳුල් දරුවා බිහිකිරීමත් සමග ය.

හැරී-මේගන් යුවළට ලැබුණේ පිරිමි දරුවෙකු වන අතර ඔහුට ආචි හැරිසන් ලෙස නම තබා ඇත. හැරී සහ මේගන් මවුපිය පදවි ලැබිම පිළිබඳව මහ රැජින ඇතුළු රජ පවු‍ලේ සියලු දෙනා සතුට පලකර තිබූ අන්දම මාධ්‍ය ඔස්සේ දැකගත හැකිවිය. මේගන් දරුවා බිහිකරන අවස්ථාවේ හැරීකුමරු ද ඇය අසලම සිටි බව පැවසිණි.

එම අවස්ථාවෙන් අනතුරුව මහත් පී්‍රතියෙන් යුතුව මාධ්‍ය හමුවට විත් ඔහු  කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විශාල ප්‍රසාදයක් පළ වී තිබෙණුද දක්නට ලැබිණි. තමාත්, මේගනුත් මේ අවස්ථාවේ මහත් සතුටට පත්ව සිටින බව සඳහන් කළ හැරී තවදුරටත් මෙලෙස සඳහන්  කළේය. 'මෙයට වඩා විස්මයජනක අත්දැකීමක් ගැන මට සිතාගන්නටවත් බැහැ.

ලෝකයේ ඕනෑම කාන්තාවක් මෙවැනි කටයුත්තක් කරන්නේ කෙසේදැයි සිතාගන්නටත් අමාරුයි' ඔහු එයින් අදහස් කළේ දරුවෙකු මාස ගණනක් කුස දරාගෙන සිට අවසානයේ එම දරුවා බිහි කිරීම දක්වා මවක විසින් කරනු ලබන මෙහෙය පිළිබඳව බව අමුතුවෙන් කිව යුතු නැත. හැරීගේ මේ ප්‍රකාශය පිළිබඳව වර්ණනා මුඛයෙන් කතා කර තිබූ සමහරුන් පවසා තිබුණේ හැරී වැනි කෙනෙකු සිය බිරිඳ දරුවෙකු බිහි කළ අවස්ථාවේ සිදු කළ මෙම ප්‍රකාශය ලොව පුරා කාන්තාවන් තුළ මහත් අමන්දානන්දයක් ඇති කරනු ඇති බවයි.

 දරුවාගේ උපත් බර රාත්තල් 7 කුත් අවුන්ස 3 ක් (කි.ග්‍රෑ. 3.2 ක්) ලෙස සඳහන් වූ අතර ඔහු පිළිබඳ ඇති තවත් විශේෂත්වයක් වන්නේ ඔහු උපදිනවිටම රටවල් දෙකක පුරවැසිභාවය හිමි කෙනෙකු වීමයි. ඒ බ්‍රිතාන්‍යයේ සහ ඇමෙරිකාවේය. ඇමෙරිකානු පුරවැසිභාවය හිමිවන්නේ මේගන් මාර්කල් ඇමෙරිකානු ජාතික කාන්තාවක වීම නිසාය. කෙසේ වුවද මේ නිසා ඇමෙරිකාවට පුරවැසියෙකු ලෙස ආදායම් බදු ගෙවන්නට කුමාරයාට සිදුවනු ඇත. මේ අනුව මෑත ඉතිහාසයේ රජ පවුලට එක් වූ, ජාතීන් දෙකකට අයත් පළමු දරුවා බවට ද හැරීගේ පුතණුවන් පත් වනු ඇත.

බ්‍රිතාන්‍යය තුළ මෙවැනි, ජාතීන් එකකට වඩා වැඩි ගණනකට අයත් පුද්ගලයන් බහුල වෙමින් ඇති කාලයක රජ පවුල තුළ ද එවැනි කෙනෙකු බිහිවීම වැදගත් කාරණයක් ලෙස ඇතැම් නිරීක්ෂකයින් පෙන්වා දී තිබෙණු දැකිය හැකිවිය. මේගන්ගේ මව වන ඩොරියා රැග්ලන්ඩ් අප්‍රිකානු-ඇමෙරිකානු සම්භවයක් සහිත කාන්තාවක වීමද තවත් විශේෂත්වයකි. ඩොරියා ද සිය දියණිය දරු ප්‍රසූතියට සූදානම් වෙමින් සිටි කාලයේ ඇය සමගම සිටි බැව් මාධ්‍ය වාර්තා කර තිබිණි.


කෙසේ වෙතත් මේගන් ගැබ් ගැනීමෙන් පසු ගතවුණු කාලය තුළ වඩාත්ම අවධානයට ලක් වූ කාරණයක් වූයේ ඇය රජ පවු‍ලේ සාමාන්‍ය සම්ප්‍රදායන්ට වඩා වෙනස් ආකාරයෙන් කටයුතු කිරීමට සූදානම් වීම පිළිබඳ කාරණයයි. විශේෂයෙන් ඇයගේ නෑනන්ඩිය (විලියම්ගේ බිරිඳ) කේට් මිඩ්ල්ටන් දරුවන් බිහි කළ අවස්ථාවේ කටයුතු කළ ආකාරයට වඩා වෙනස් ආකාරයෙන් මේගන් කටයුතු කිරීමට අදහස් කරන බව මාධ්‍ය තුළ විශාල වශයෙන් කතාබහට ලක් විය.

කේට්ට දරුවෙකු ලැබුණු සෑම අවස්ථාවකම එයින් පැය දෙක තුනක් ඇතුළත ඇයත්, විලියමුත් දරුවා ද සමග රෝහලෙන් පිටතටවිත් මාධ්‍ය හමු වේ දරුවා පෙන්වීමේ සිරිතක්  අනුගමනය කළෝය. නමුත් මේගන් සහ හැරී ඒ ආකාරයෙන් කටයුතු කිරීමට අදහස් කළේ නැත. මේගන් සහ දරුවා මාධ්‍ය හමුවට එන්නේ දින කිහිපයක් නිදහසේ, සිය පෞද්ගලිකත්වය ආරක්ෂා කරගෙන, සැනසිල්‍ලේ කාලය ගත කිරීමෙන් පසුව පමණක් බව මෙම නව යුවළ සඳහන් කළහ. දරුවෙකු බිහිකර සුළු වේලාවක් තුළ දරුවා ද සමග කැමරා ඉදිරියේ පෙනී සිටින්නට සිදුවීම මවකට ඉතා පීඩාකාරී අත්දැකීමක් ලෙස ඔවුන් විසින් සලකන ලද බව පෙනිණි.

කේට් වුව ද එම ඡායාරූපවල සිනාමුසු මුහුණින් පෙනී සිටියත් තිරයෙන් පිටුපස පැවති තත්ත්වය එයට හාත්පසින් වෙනස් බවට බොහෝ අදහස් පළ වී තිබුණි. නමුත් ඇයට වුවද එය මග හැරීමට හැකියාවක් නොවූයේ මෙය රජ පවු‍ලේ සාමාන්‍ය සම්ප්‍රදායක් බවට පත්ව තිබිම නිසාය. නමුත් මේගන් සහ හැරී මවගේ සහ දරුවාගේ සුවපහසුව වෙනුවෙන් මෙම රාජකීය සම්ප්‍රදාය බිඳදැමීමට කල්පනා කළහ. මේ ගැන බොහෝ විද්වතුන්, මාධ්‍යවේදීන්, ‍ලේඛකයන් මෙම යුවළට ප්‍රශංසා කර තිබෙනු පසුගිය දිනවල දැකිය හැකිවිය.

රජ පවු‍ලේ දරුවන් බොහෝ විට උපත ලබන්නේ ඉහළම මට්ටමේ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ, සුපිරි මට්ටමේ රෝහල්වල වුව ද මේගන් මෙම සම්ප්‍රදාය ද වෙනස් කිරීමට උත්සාහ කළාය. ඇයට වුවමනා වූයේ රෝහලකට නොගොස් ඔවුන් දැනට පදිංචිව සිටින නිවසේ දීම දරුවා බිහිකිරීමට ය.

මේ වන විට මේගන් සහ හැරී වාසය කරන්නේ ලන්ඩන් නුවර සිට තරමක් දුරින්, වින්ඩ්සර් මාලිගය ආසන්නයේ පිහිටි' ෆේ‍රාග්මෝර් කොටේජ්' නැමැති නිවසේ ය. මෙය ඉතා නිස්කලංක පරිසරයක පිහිටා ඇති නිවසකි. කෙසේ නමුත්, මේ මේගන් බිහිකිරීමට යන පළමු දරුවා නිසාත්, මේ වනවිට ඇය 37 වෙනි වියෙහි පසුවන නිසාත් නිවසේ දරුවා බිහිකරන්නට යාම අනතුරුදායක වනු ඇතැයි යන අදහස් ද ඉදිරිපත්ව තිබිණි.

මෙම තත්ත්වය තුළ, මේගන්ට දරුවා ලැබෙන්නට ආසන්න වූ අවස්ථාවේ හැරීකුමරු ඔහුගේ ආරක්ෂකයන්ද සමග ඇය ලන්ඩනයේ රෝහලක් වෙත ගෙනැවිත් තිබිණි. මෙම රෝහල කුමක්ද යන්න පවා පැවැතියේ රහසක් ලෙසිණි.
හැරී-මේගන් දෙදෙනාගේ දරුවා එළිසබෙත් මහ රැජිනගේ අටවෙනි මී මුනුපුරා වීම ද තවත් විශේෂත්වයකි. ඇයගේ මුනුපුරු මිනිපිරියන් සිව්දෙනෙකුටම මේ වනවිට දරුවෝ සිටිති.

ඒ විලියම්, හැරී, සාරා පිලිප්ස් සහ පීටර් පිලිප්ස් යන මුනුපුරු මිනිපිරියන්ටය. විලියම් සහ හැරී යනු රැජිනගේ වැඩිමල් පුතු වන චාල්ස්ගේ දරුවන් වන අතර සාරා සහ පීටර් යනු ඇයගේ එකම දියණිය වන ඈන් ගේ දරුවන්ය. විලියම්ට දරුවන් තිදෙනෙකුද, හැරීට එක් දරුවෙකු ද සිටින අතර සාරා සහ පීටර් දෙදෙනාට දරුවෝ දෙදෙනා බැගින් වෙති. හැරී සහ මේගන් යුවළගේ පුතු චාල්ස් කුමරුගේ සිව්වෙනි මුනුපුරා ද වෙයි.

 පසුගිය කාලයේ විලියම්ගේ බිරිඳ කේට් සහ මේගන් අතර යම්යම් ගැටුම් පැවැති බවට ද කටකතා පැතිරෙමින් තිබිණි. මේ නිසා විලියම් සහ හැරී දෙදෙනා ද සිටියේ තරමක් හිත් නොහොඳින්  බවක් ද සඳහන් විය. මේවායේ ඇත්ත නැත්ත කෙසේ වෙතත් මෙම අලුත් අමුත්තාගේ සම්ප්‍රාප්තියත් සමග ඒ සියලු විරසකයන් සමනය වී ඇති ආකාරයක් ද පෙනේ.

දරුවාගේ උපතින් පැය කිහිපයකට පසු ඒ ගැන මාධ්‍යකරුවන් විලියම් සහ කේට් දෙදෙනාගෙන් විමසූ අවස්ථාවේ ඔවුන් පවසා සිටියේ තමුන් ඉමහත් සතුටට පත්ව සිටින බව සහ ඉතා ඉක්මනින් මේ අලුත් අමුත්තා දැක ගැනීමට නොඉවසිල්ලෙන් සිටින බවයි. 'නිදි මරණ තාත්තලාගේ සමාජය' ට හැරීව තමා ඉතා සාදරයෙන් පිළිගන්නා බවද ඔහු සිනාමුසුව සඳහන් කර තිබිණි.

 කිත්සිරි මල්වත්ත
Share This Article
Hiru Tv Blog
මුත්‍රා වල වර්ණය, ඔබ දන්නවා සාමාන්‍ය...
Hiru Tv Blog
නිය ආලේපන භාවිත කරන්නේ නියපොතුවල ආරක්ෂාවට...
Hiru Tv Blog
Thursday, 18 July 2019 - 10:35
Hiru Tv Blog 1,428 Views
ජලය අපේ සිරුරට අත්‍යවශ්‍යම දෙයක්. රෝග...
Hiru Tv Blog
Thursday, 18 July 2019 - 10:15
Hiru Tv Blog 314 Views
අතීතයේ සිටම යුවතියන් සමේ පැහැය රැකගැනීමට...
Hiru Tv Blog
මවක් වන්නට සිටින අයකු කෑමට ගතයුතු ආහාර...
Hiru Tv Blog
"සමහර වෙලාවට හිතිලා තියෙනවා විවාහ වෙන්න හදිස්සි වුණාද කියලත්..""එයා එනකල් අපි...
Hiru Tv Blog
ලන්ඩනයේ පැවැති "ලයන් කිං"  සිනමා පටයේ මංගල දර්ශනය නැරඹීම සඳහා හැරී- මේගන් යුවල...
Hiru Tv Blog
ඇය තෙවැනි වතාවටත් අන්තර්ජාතික සම්මානයට පාත්‍රවූයේ ශ්‍රී ලාංකීය සිනමාවට ගෞරවයක්...
Hiru Tv Blog
Saturday, 06 July 2019
Hiru Tv Blog 1,257 Views
Hiru Tv Blog
පසුගියදා Facebook, Instagram, WhatsApp යන සමාජ මාධ්‍ය ජාලා හදිසියේම කඩාවැටීමකට ලක්වුණා. WhatsApp සහ...
Hiru Tv Blog
Android 4.0.3, IOS 8 හෝ KaiOS 2.5.1 මෙහෙයුම් පද්ධති වලින් ක්‍රියාත්මක වන ජංගම දුරකථන WhatsApp භාවිතය...
Hiru Tv Blog
මෝටර් රථ තාක්ෂනය ගැන කතා කරනකොට ලෝකයේ ප්‍රසිද්ධ මෝටර් රථ සමාගමක් වන Peugeot මෝටර්...
Top