තණ බිස්සක ඇවිදීම රෝග රැසකට සහනයක්
Thursday, 18 April 2019 - 11:25 | Views - 2,990
අද බොහෝ නිවෙස් වටා ඇති ගෙමිදුල් කොන්ක්‍රීට් පදාසයකින් වැසී ගොස්ය. මිනිසාට තණබිස්සක පහස ලබන්නට දෙපතුලකට ඇති ඉඩකඩ බොහෝ අඩුය. එහෙත් හිමිදිරි උදෑසනක තණ බිස්සක සක්මන් කරන්නට ඇත්නම් එය ලෙඩ රෝග ගණනාවකින් දුරස්ව ජීවත් වන්නට හොඳම මාර්ගයකැයි දේශීය වෛද්‍ය විද්‍යාවෙන් පැවැසේ.
කොන්ක්‍රීට් වලින් වසා දමන්නට සිතන ඔබේ ගෙමිදුලෙ සිහින් තීරයක් තණ බිස්සක් සේ සකස් කර ගත හැකි නම් මෙම ප්‍රතිලාභය ඔබට නොමිලයේම අත්පත් කර ගත හැකිය. තණකොළ වෙනුවට ඔබට හීන් උඳුපියලිය නමින් හැඳින්වෙන ඖෂධීය පැළෑටිය සිටුවා ගත හැකි නම් ඒ මත ඇවිදීමෙන් අත්වෙන යහපත ඊටත් වඩා බොහෝ වැඩිය. හීන් උඳුපියලියද තණ කොළ මෙන්ම පහසුවෙන් බෝවන පැළෑටියකි. හීන් උඳුපියලි මත ඇවිදීම දේශීය වෙදකමේ අනඟි ඔසුවකි.
මේ ආකාරයට සකසා ගත් තණ පලසක් හෝ උඳුපියලි පලසක් මත උදෑසන ඇවිදීමේදී රුධිර සංසරණය ක්රමානුකූල වී බොහෝ ලෙඩ රෝග වැලඳීමට ඇති හැකියාව අවම කරයි. විශේෂයෙන් කාන්තාවන්ගේ ආර්තවය හා සම්බන්ධ ගැටලුවලටත් ගර්භාෂය සම්බන්ධ රෝග සහ හෝමෝන ආශ්රිත ගැටලුකාරී තත්ත්වයන්ටත් මෙය විශාල සහනයක් බව සඳහන් වේ. එබඳු රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන කාන්තාවන් තණ පලසක් මත ව්‍යායාම වල යෙදීමන් ඉන් ලැබෙන යහපත තවත් වැඩිය.
යටිපතුලේ ප්‍රණීත ක්‍රියා හා සම්බන්ධ කලාප වැඩි ගණනක් පිහිටා ඇති අතර තණ පලසක් මත ඇවිදීමේදී එම කලාප ඉතා යහපත් ආකාරයෙන් උත්තේජනය වීම සිදුවේ. ඇස්, කන්, පෙණහලු, මොළය, වකුගඩු හා සම්බන්ධ ස්නායු සම කලාප හා සම්බන්ධව පවතින නිසා එම අවයවයන්හි ක්‍රියාකාරිත්වය ඉතා යහපත් ආකාරයෙන් පවත්වාගෙන යාමට තණ බිස්සක ඇවිදීම හේතුවේ.
පොළොවේ ඇවිදින විට පළමු වන දෙවන හා තුන්වන ඇඟිලි වලට වැඩි බරක් වැටීම සාමාන්‍යයෙන් සිදුවන දෙයකි. එම ඇඟිලි තුනට ඇස් හා සම්බන්ධ ස්නායු වැඩි ප්‍රමාණයක සෘජු සම්බන්ධතාවයන් පවතින අතර උදෑසන තණ බිස්සක හෝ උදුපියලිය බිස්සක ඇවදීමේදී එම ඇඟිලි ආශ්රිත ප්‍රදේශය ඒ හා සමග හොඳින් ගැටී උත්තේජනය වීමෙන් ඇස්වල නිරෝගී භාවයට විශාල පිටිවහලක් ලැබේ. යටිපතුල්වල ඇති ස්නායු උත්තේජනය වීම මගින් රුධිර පීඩනය අඩු කරන නිසා අධිරුධිර පීඩනයෙන් පෙළෙන බොහෝ අයට තණ මත ඇවිදීමට ඖෂධයක් බවට පත් කර ගත හැකිය.
Share This Article