ලෙඩ නොවී අවුරුදු කන්නේ මෙහෙමයි
Thursday, 11 April 2019 - 14:16 | Views - 1,614
බොහෝ හිත්වල අලුත් බලාපොරොත්තු මල් පූදින බක් මහ වසන්තය ගේ දොරකඩටම ඇවිත්. අලුත් අවුරුද්ද කියූ සැණින් බොහෝ දෙනකුගේ මතකයට නැ‍ඟෙන්නේ සතුට, නිරෝගී සුව හා සෞභාග්‍යයයි. "කළු කපුටා සුදු වන තුරු මොල් ගහේ දලුලන තුරු එකසිය විස්සට දෙසිය විස්සක් ආයුබෝ වේවා" යනුවෙන් මුව පුරා තවත් කෙනකුට ආශීර්වාද කළ හැකි හොඳම දවසද අලුත් අවුරුද්දයි. එහෙත් දිනෙන් දින වැඩි වෙමින් තිබෙන අකල් මරණ සංඛ්‍යාව හමුවේ ඒ ප්‍රාර්ථනාව හිතළුවක් බවට පත්වෙමින් තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා පවසන්නේ මෙරට දිනකට සිදුවන මරණ 350කින් සියයට 80ක්ම බෝ නොවන රෝග හේතුවෙන් සිදුවන බවයි.

හෙතෙම වැඩිදුරටත් පවසන්නේ එසේ ශ්‍රී ලාංකිකයන්ට අකාලයේ මරු කැඳවන බෝ නොවන රෝග අතර හෘදයාබාධ, දියවැඩියාව සහ පිළිකා ප්‍රමුඛස්ථානයේ තිබෙන අතර පිරිමින් අතර මුඛ පිළිකා සහ කාන්තාවන් අතර ගැබ්ගෙල පිළිකා සහ පියයුරු පිළිකා මූලික වන බවයි. බෝ නොවන රෝග රැසකට හේතුව අධික පැණි රස සහ මේදය සහිත ආහාර ගැනීමත් දුම්කොළ හා මද්‍යසාර පානය බවත් වෛද්‍ය මතයයි.

"අවුරුදු කාලයේ පැණි රස සහ තෙල් කෑම නොකා සිටීමේ හැකියාවක් බොහෝ දෙනකුට නැතිවිය හැකියි. නමුත් ඒ ආහාරපාන සීමාවක් ඇතිව ගැනීමට කල්පනාකාරී විය යුතුයි. එවැනි ආහාර කෑමට ගන්නා විට අධික ප්‍රමාණයන්ගෙන් ආහාරයට ගැනීමෙන් වළකින්න. ඒ වගේම විශේෂයෙන් වියළි උෂ්ණාධික කාලගුණයක් තිබෙන මේ කාලයේ ලොකු කුඩා කවුරුත් ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම අත්‍යවශ්‍යයි. සිරුර වියළීමට ඉඩ නො දී තෙතමනය පවත්වාගෙන යෑම සඳහා එය අවශ්‍යයි. එම නිසා විශේෂයෙන් මේ උත්සව සමයේ දී මත්පැන් පානයෙන් වැළකී වැඩිපුර පිරිසුදු ජලය පානය කිරීමට සැලකිලිමත් විය යුතුයි." බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා එසේද පැවැසීය.

වෛද්‍යවරයා එසේ කීවද විවිධාකාර පැණි රස සහ තෙල් අධික කෑමබීමවලින් අඩුවක් නැති උත්සව සමයේ එසේ කෑමෙන් බීමෙන් ප්‍රවේශම් වන්නේ කෙසේද යන්න බොහෝ දෙනකුට ප්‍රශ්නයක් විය හැකිය. ඊට හේතුව අලුත් අවුරුදු චාරිත්‍රවලට අනුව ප්‍රධාන රසකැවිලි වර්ග බොහොමයක් සකස් කරනු ලබන්නේ සීනි, පැණි භාවිත කර ගැඹුරු තෙලෙන් බැදගැනීමෙනි. එවැනි ආහාර බහුල ලෙස ආහාරයට ගැනීම දියවැඩියා රෝගීන්ට, හෘද රෝගීන්ට සහ අධික තරබාරුකමින් පෙළෙන අයට කිසිසේත් හිතකර නැත. එමෙන්ම අවුරුදු සමයේ දී කල්තබා ගැනීමේ ද්‍රව්‍ය සහ රසකාරක දමා පිළියෙල කරන ආහාරද බහුල වශයෙන් භාවිත කෙරේ. එනම් අබ, ලුණු සහ විනාකිරි මිශ්‍රකර පිළියෙල කරන චට්නි, අච්චාරු ආදිය වැඩිපුර ආහාරයට ගැනීම ගැස්ට්‍රයිටීස් හෙවත් අම්ලපිත්ත රෝගයෙන් පෙළෙන්නන්ට ගුණදායක නොවේ. එමෙන්ම ප්‍රියසාදවල දී කටගැස්ම ලෙස වැඩි වශයෙන් භාවිත වන්නේ අධික තෙල් සහිත මස් වර්ග මෙන්ම ලූණු අධික ක්ෂණික සහ සකස්කළ ආහාර වර්ග අධික ලෙස ආහාරයට ගැනීම හෘද රෝගීන්ට කිසිසේත් හිතකර නොවේ. බොහෝ ක්ෂණික ආහාරවල කෘත්‍රිම රසකාරක, තෙල්, ලුණු සහ සීනි බහුලව තිබෙන අතර සිරුරට හිතකර විටමින්, ඛනිජ ලවණ වැනි පෝෂක සහ තන්තු තිබෙන්නේ අඩු ප්‍රමාණයක් වන බැවින් එවැනි ක්ෂණික ආහාර තුළින් සමතුලිත පෝෂණයක් නොලැබේ.

ඉහත කී ආහාරපාන අහිතකර වන්නේ මුලින් කී බෝ නොවන රෝගවලින් පෙළෙන රෝගීන්ට පමණක් නොවේ. එම ආහාර අධික ලෙස ආහාරයට ගැනීමෙන් නිරෝගී පුද්ගලයන් පවා පහසුවෙන් බෝනොවන රෝගවලට ලක්විය හැකි බව වෛද්‍ය විද්‍යාත්මකව තහවුරුවී තිබේ. අධික ලෙස මේදය අඩංගු ආහාර ගැනීමෙන් ක්‍රියාවලියේ වෙනස්කම් ඇතිවී සිරුරේ බර වැඩිවන අතර ඒ තුළින් අධික තරබාරුව, දියවැඩියාව, කොලොස්ටරෝල්, හෘදයාබාධ වැනි රෝගී තත්ත්වයන්ට ලක් වීමද සිදුවේ.

උත්සව සමයේ සාද මඟ හැරිය නොහැකි නමුත් ඉහත කී රෝගවලින් පෙළෙන්නන් එවැනි අහිතකර ආහාරපාන අධික ලෙස ආහාරයට ගැනීමෙන් වැළකීම තම සෞඛ්‍ය රැකගැනීම වෙනුවෙන් ගත හැකි නැණවත් පියවරකි. සාදවල දී ආහාරපාන ගැනීමේ දී මෙන්ම සාදවලට ආහාර පිළියෙල කිරීමේදීද සෞඛ්‍යට හිතකර ආහාරපාන පිළිබඳ වැඩි සැලකිල්ලක් දැක්වීම අත්‍යවශ්‍ය වේ.

විශේෂයෙන් උත්සව සමයේ දී ආහාරපාන පිළියෙල කිරීමේ වැඩි වගකීමක් හිමිවන්නේ ගෘහණින්ටය. ආහාර පිළියෙල කිරීමේ දී සෞඛ්‍යයට හිතකර අයුරින් ඒවා පිළියෙල කිරීමට සැලකිලිමත් විය යුතුය. ආහාර පිසීමේ දී බොහෝ ගෘහනියෝ ගාගත් පොල් බ්ලෙන්ඩර් කර ලබාගන්නා කිරි භාවිත කරති. එසේ කිරීමෙන් වැඩිපුර කිරි ප්‍රමාණයක් ලබාගත හැකිවුවත් එයින් අධික මේදය ප්‍රමාණයක්ද ආහාරයට එකතු වේ. පවුලේ සාමාජිකයන් හෝ සාදයට පැමිණෙන අමුත්තන් අතර කොලෙස්ටරෝල් මට්ටම අධික රෝගීන් සහ හෘද රෝගීන් සිටී නම් එසේ බ්ලෙන්ඩර් කර ලබාගන්නා පොල්කිරි යොදා ආහාර සකස් කිරීම සුදුසු නොවේ. එවැනි අයට ආහාර පිළියෙල කරන විට මිටිකිරි වෙනුවට හැකිතරම් දියකිරි භාවිත කිරීමට උත්සාහ කරන්න. අධික තරබාරු අයටද මේදය අධිකව අඩංගු ආහාර ගැනීම සුදුසු නොවන අතර ඇතැම් මස් වර්ගවල සම කොටසේ වැඩිපුර තෙල් ප්‍රමාණයක් පවතී. එම නිසා එවැනි මස් පිසීමේ දී සම ඉවත් කර පිසීම සෞඛ්‍යයට හිතකරය.

මේදය යනු මිනිස් ශරීරයට අත්‍යවශ්‍ය ආහාර කොටසක් වුවද බෝනොවන රෝග රැසකට හේතුව වැරැදි ලෙස මේදය භාවිතයට ගැනීමයි. දිනෙන් දින ඉහළ යන අධි කෙලොස්ටරෝල්, අධි රුධිර පීඩන, හෘදයාබාධ, ආඝාතය, අංශභාගය වැනි රෝග වළක්වා ගැනීමට කළ යුත්තේ මේදය සම්පූර්ණයෙන් අත්හැරීම නොව පරෙස්සම් සහිතව මඳ පමණින් ආහාරයට ගැනීමයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශයේ දැනුවත් කිරීම් අනුව සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගතකිරීම උදෙසා අවුරුදු දෙකේ සිට ඉහළ වයස් කාණ්ඩවල පසුවන්නන් සඳහා දිනකට අවශ්‍ය මුළු ශක්ති ප්‍රමාණයෙන් සියයට 15- 30ත් අතර ප්‍රමාණයක් ලබාගත යුත්තේ මේදයෙනි. එහෙත් සංතෘප්ත මේද ආහාර මඟින් ලබාගන්නා ශක්තිය දිනකට පුද්ගලයකුට අවශ්‍ය වන ශක්තියෙන් සියයට 10ක් නොඉක්මවිය යුතුය. ආහාර මඟින් දිනකට ලබාගන්නා කොලෙස්ටරෝල් ප්‍රමාණය මිලි ග්‍රෑම් 300 වඩා අඩු විය යුතුය. එම නිසා ආහාර පිළියෙළ කිරීමේ දී පොල් කිරි හා තෙල් නිවැරදි ලෙස භාවිත කළ යුතු අතර පස් දෙනෙකුගෙන් යුත් පවුලකට දිනකට මධ්‍යම ප්‍රමාණයේ පොල් ගෙඩියක් භාවිත කිරීම සුදුසුය. කජු, රටකජු, කොට්ටන්, තල, අලිගැට පේර මඟින් දිනකට අවශ්‍ය අසංතෘප්ත මේද ප්‍රමාණය ලබාගත හැකි අතර දෛනික ආහාරවේලට බලයා, සාඩින්, හුරුල්ලා වැනි මාළු වර්ග අඩංගු ආහාර ගැනීමද හිතකරය. කේක්, පේස්ට්‍රි, රෝල්ස්, බිස්කට් හා කට්ලට් වැනි කෙටි ආහාර ඇතුළු ගැඹුරු තෙලෙහි බදින ලද ක්ෂණික ආහාර භාවිතය සීමා කිරීම සුදුසුය. සොසේජස්, මීට් බෝල්ස්, හැම්, බේකන් වැනි කලින් සකස් කරන ලද මාංසමය ආහාර භාවිතය සීමා කළ යුතු අතර ආහාර තෙම්පරාදු කරගැනීම සඳහා තෙල් ස්වල්ප ප්‍රමාණයක් යොදා ගත යුතුය.

සාදයක දී ඔබට වැඩිපුර තෙල් සහිත සහ පැණි රසැති ආහාරපාන ගැනීමට සිදුවුවහොත් ඔබේ ඊළඟ ආහාර වේලට වැඩිපුර එළවළු වර්ග සහ පළා වර්ග අනිවාර්යයෙන්ම ඇතුළත් කරගැනීමට සැලකිලිමත් වන්න. එමෙන්ම ඔබ අධික තරබාරු අයෙක් නම් අවුරුදු සාදයක දී වැඩිපුර බත් අනුභව කිරීමට සිදුවූයේ නම් ඊළඟ ආහාර වේල බත් වෙනුවට ඉතා සැහැල්ලු ආහාරයක් ගන්න. ආහාර පිළියෙල කිරීමේ දී කෘත්‍රිම රසකාරක සහ කල්තබා ගැනීමේ ද්‍රව්‍ය වෙනුවට දේශීය රසකාරක සහ කල් තබාගැනීමේ ද්‍රව්‍ය භාවිත කිරීමද සෞඛ්‍යයට හිතකරය. දියවැඩියාව, හෘද රෝගවලින් පෙළෙන්නන් නිතරම වෛද්‍යවරයාගේ උපදෙස් ලබාගැනීමටත් දිනපතා පාවිච්චි කරන ඖෂධ අතපසු නොකර ලබාගැනීමටත් අමතක නොකරන්න.

ප්‍රිය සම්භාෂණවල දී කේක්, බිස්කට් යනු නැතුවම බැරි ආහාර බවට පත්වී තිබේ. කිසිදු පෝෂණ ගුණයක් නොමැති සීනි විශාල ප්‍රතිශතයක් සඟවාගෙන සිටින සතුරන් ලෙස බිස්කට් හා කේක් වර්ග හැඳින්විය හැකිය. බිස්කට් සහ කේක් වර්ග නිෂ්පාදනයට යොදා ගන්නේ පිරිපහදු කළ පාන් පිටි නිසා ඉන් සිරුරට පෝෂණයක් නොලැබේ. මෙම කේක් සහ බිස්කට්වල අඩංගු සීනි නිසා දත්වලට සිදුවන හානියද සුළුකොට තැකිය නොහැකිය. විශේෂයෙන් කුඩා දරුවන්ගේ දත් දිරායෑමට සීනි අධික ලෙස භාවිත කිරීම හේතුවන බව වෛද්‍ය මතයයි. එම නිසා සාදවල දී අධික පැණි රස ආහාර ගැනීම අඩුකර ඒ වෙනුවට හැකිතරම් නැවුම් පලතුරු ආහාරයට ගැනීම යෝග්‍ය වේ. එමෙන්ම එළවළුද නැවුම් සලාද වශයෙන් ආහාරයට ගැනීම වඩා හිතකරය.

උත්සව සමය වුවද මෙම කාලය බොහෝ ප්‍රදේශවලට දැඩි වියළි උෂ්ණාධික කාලගුණයක් සහිත කාලයකි. සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීමට මෙන්ම ප්‍රමාණවත් තරම් පිරිසුදු ජලය පානය කිරීමටද සැලකිලිමත් විය යුතු බවයි. ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා පැවසුවේ උත්සව සමයේ දී මත්පැන් පානයෙන් වැළකී වැඩිපුර ජලය පානය කරන ලෙසය.

මෙරට රජයේ රෝහල්වල වාට්ටුවල ඇඳන්වලින් සියයට 20ක් පමණ මද්‍යසාර හා දුම්පානය නිසා රෝගීවූවන්ගෙන් පිරී පවතින බවත් දුම්පානයෙන් දිනකට පුද්ගලයන් 55ක් මිය යන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත වාර්තාවලින් අනාවරණය වේ. එමෙන්ම වසරක් පසා දුම්කොළ හා දුම්වැටි නිසා ලෝකයේ පුද්ගලයන් ලක්ෂ 60ක් මරණයට පත්වන අතර සෑම තත්පර 06කටම වරක් දුම්කොළ හෝ දුම්වැටි නිසා පුද්ගලයෙක් මියයන තරමට තත්ත්වය භයානක වී තිබේ. මෙරට තත්ත්වයද එතරම්ම භයානක වන අතර වාර්ෂිකව දුම්කොළ හා දුම්වැටි භාවිතය නිසා මෙරට මියයන පුද්ගලයන් සංඛ්‍යාව 20, 000කි. දිනකට 55 දෙනෙකි.

විශේෂයෙන් ජාතික පිළිකා මර්දන වැඩසටහනේ දත්ත වාර්තා අනුව මෙරට පිරිමින් අතර මුඛ පිළිකාව බහුල වීමට හේතුව දුම්කොළ සහ මද්‍යසාර භාවිතයයි. බොහෝ දෙනකු අතර ජනප්‍රිය 'බුලත් විට' දරුණු පිළිකාකාරකයක් වන අතර දුම්කොළවල පිළිකාකාරක 30කට ආසන්න සංඛ්‍යාවක් සහ පුවක්වල පිළිකාකාරක 4ක් පමණ තිබෙන බව හඳුනාගෙන තිබේ. බුලත් විට වඩාත් භයානක වන්නේ එහි අඩංගු වන දුම්කොළ සහ පුවක් නිසා බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ වෛද්‍ය ප්‍රසන්න ජයසේකර මහතා අවධාරණය කළේය. ඒ අනුව මෙරට මුඛ පිළිකා රෝගීන්ගෙන් සියයට 85ක් එයට ගොදුරුව ඇත්තේ බුලත් විට නිසාය.

එම නිසා මේ අලුත් අවුරුදු සමයේ දී මාරක පිළිකා රෝගයට අත වනන දුම්කොළ, පුවක් සහිත බුලත් විට කෑමෙන් වැළකී මුඛ පිළිකා අවදානමින් ආරක්ෂා වන ලෙසද ජාතික පිළිකා මර්දන වැඩසටහන ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. විශේෂයෙන් මෙම අවුරුදු සමයේ පූජ්‍ය පක්ෂයට සහ වැඩිහිටියන්ට දුම්කොළ, පුවත් සහිත සම්ප්‍රදායික දැහැත් වට්ටිය වෙනුවට සෞඛ්‍යයට අහිතකර නොවන දේශීය කුළුබඩුවලින් සැදි සෞඛ්‍ය සම්පන්න දැහැත් වට්ටියක් පිළිගැන්වීමෙන් ඔවුන් අකාලයේ මුඛ පිළිකා රෝගයට ගොදුරු වීමෙන් වළක්වා ගැනීමට හැකියාව තිබෙන බව පිළිකා මර්දන වැඩසටහනේ අදහසයි. එවිට මේ අවුරුදු සමයේ "කළු කපුටා සුදු වන තුරු මොල් ගහේ දලුලන තුරු එකසිය විස්සට දෙසිය විස්සක් ආයුබෝ වේවා "යැයි සැමටම හදවතින්ම සුබ පතන්නට කාටත් හැකිවනු ඇත.

[සුරේකා නිල්මිණි ඉලංගකොන්]

Share This Article
Hiru Tv Blog
මාස 9ක් වූ ගර්භණී සමය ප්‍රධාන වශයෙන් කොටස්...
Hiru Tv Blog
Tuesday, 21 May 2019 - 9:50
Hiru Tv Blog 562 Views
* ආමන්ඩ් ඇට කිහිපයක්, රැයක් වතුරේ පෙඟෙන්නට...
Hiru Tv Blog
කාන්තාවකගේ රූ සපුව වඩාත් ඔප් නැංවෙන්නේ...
Hiru Tv Blog
රුධිරය ඕනෑවටත් වඩා ගලා යන ස්වරූපයෙන් පැවතීම...
Hiru Tv Blog
හැම කාන්තාවකගේම සිහිනය කවදා හෝ දිනක මව්...
Hiru Tv Blog
2019 මිස් බ්‍රිටිෂ් එම්පයර් ලෝක රූ රැජිණ තරගයේ කිරුළු පැලඳවීමේ උළෙල මෙවර ගල්කිස්ස...
Hiru Tv Blog
‘‘2007 පසුවයි මම කලාවට එන්නේ. දැන් අවුරුදු දොළහක් වෙනවා. එදා ඇඹිලිපිටියේදී ගෙවූ...
Hiru Tv Blog
මගේ ගෙදර තියෙන්නෙ පන්සල ඉස්සරහයි. ඉතින්.. පොඩි කාලේ මට පන්සලේ බණ කතා, කවිබණ, බෝධිපූජා...
Hiru Tv Blog
ඇපල් සමාගමට අයත් ස්‌ටෙල්ත් වර්ගයේ නවතම මෝටර් රියේ රහස්‌ සොරකම් කළ ජියොන්...
Hiru Tv Blog
Friday, 08 February 2019
Hiru Tv Blog 14,603 Views
ලොව පුරා ඇපල් ජංගම දුරකථනවල අලෙවිය අඩු වීම හේතුවෙන්, iPhoneවල මිල අඩු කිරීමේ අදහසක්...
Hiru Tv Blog
ලොව පුරා ඇපල් ජංගම දුරකථනවල අලෙවිය අඩු වීම හේතුවෙන්, iPhoneවල මිල අඩු කිරීමේ අදහසක්...
Top