’Bed Tea’ පසෙකලා කොළ කැඳ වීදුරුවකට හුරුවෙමු
Wednesday, 13 February 2019 - 16:46 | Views - 3,107
අපේ අතීත මුතුන්මිත්තන් නිරෝගී ජීවිත ගතකළ උදවියයි. උදේ පාන්දරම කොළ කැඳ වීදුරුවක් පානය කරමින් ඔවුහු දවස ඇරඹූහ. නමුත්, අධිරාජ්‍යවාදීන්ට අප ශ්‍රී ලංකාව යටත් වීමත් සමග, උදේ පාන්දරම පානය කළ කොළ කැඳ කෝප්පයට ගැරහීම සඳහා "කැඳ බිව්වා" යැයි යන මතය සමාජ ගත කර, විදේශීය කිරිපිටිවලට අප ක්‍රමානුකූලව හුරු කරවනු ලැබිණි.
උදෑසන කැඳ කෝප්පය වෙනුවට ගාම්භීර "Bed Tea" පැමිණෙන්නේ අප වැළඳගත් වහල් මානසිකත්වය නිසාය. අපට මෙන්ම, අපේ දූ දරුවන්ටද නිසි ප්‍රතිකාරයක් සොයාගත නොහැකි විවිධ වූ රෝගාබාධයන් වැළඳුණේත්, දැනට වැළඳෙමින් තිබෙන්නේත් මේ සාපය නිසාවෙනි. අවසානයේදී එකී රෝගයන්ට අවශ්‍ය ඖෂධයන්ද එම රටවලින්ම ආනයනය කරන්නට වූහ.
ගොවිතැන තම ජීවනෝපාය කරගෙන ජීවත්වන අපේ පිටිසර බොහෝ ගැමියන් තවමත් උදෑසන ආහාරයට කොළ කැඳ කෝප්පයක් ගන්නේ ඉන් ලැබෙන ගුණය ඔවුන් හොඳින්ම ප්රත්යක්ෂ කරගෙන සිටින නිසාය. උදෑසනට කිරි තේ හෝ කහට තේ බොන්නට වර්තමානයේ නාගරික හා අර්ධ නාගරියක බොහෝදෙනා පුරුදුව සිටියත්, අදද ඒ ගැමියන් කොළ කැඳ කොප්පයක රස බලමින් තම දෛනික කටයුතු අරඹන්නේ ප්‍රබෝධයෙන් හා උනන්දුවෙන් යුතුවය.
එසේම, අපේ කාන්තා පාර්ශ්වය පැහැපත් රූසපුවකට බොහෝ සේ ඇලුම් කරයි. මේ වෙනුවෙන් විවිධ අලේපන පසුපසම හඹා යනවාට වඩා, ස්වභාවික පරිසරයෙන් ලැබෙන මෙවැනි කැඳ කෝප්පයක රස බැලීමෙන් ඔබේ හමේ වර්ණය, පැහැය මෙන්ම ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ඒ දෙපාර්ශ්වයම අපේක්ෂා කරන තරුණ බවද ආරක්ෂා කරගැනීමට හැකිය.
බාල, තරුණ, වැඩිහිටි, මහළු මෙන්ම, රෝගී හා නිරෝගී අයටත් කැඳ වර්ග පානය කිරීම බොහෝ ගුණ දෙන බැවින් සමහරුන් මේ සඳහා ගුණාත්මක බව වැඩි කරගැනීමට දේශීය හා ඖෂධීය ගුණැති සහල් වර්ග උපයෝගී කර ගනිති.
වර්තමානයේ වස විසෙන් තොර ආහාර රටාවකට හුරුවන්නට අවශ්‍ය නිසා සාමාන්‍යයෙන් මෙම සහල් වර්ග මිල අධික වීම නිසා ප්‍රධාන ආහාරවේලට භාවිත නොකළත්, උදෑසන ඔබේ තේ පානය වෙනුවට මේ දේශීය සහලින් සෑදූ කොළ කැඳ පානයක් ලෙස ගන්නේ නම්, එය වඩාත් සෞඛ්‍යට වඩාත් හිතකර වන්නේය. එමෙන්ම, කොළ කැඳක් සාදා ගැනීමට අවැසි ශාඛ කිහිපයක් ඔබේ ගෙවත්තේ සිටුවා ගැනීමට හැකි නම්, ඔබේ කාර්ය වඩාත් පහසු මෙන්ම, වඩාත් සෞඛ්යාරක්ෂිත බව ඔබටම ප්රත්යක්ෂ කරගත හැකිය. කෙසේ නමුත්, ඔබට එවැනි දේශීය සහල් මිලදී ගැනීමට හැකියාවක් නොමැති නම්, ඔබ වෙළෙඳ පොළෙන් මිලදී ගත් සාමාන්‍ය සහල් හෝ භාවිත කරමින් කොළ කැඳක් සාදා ගැනීම "Bed Tea" එකට වඩා බොහෝ ගුණදායක වනු ඇත.
ආදරණීය දෙමවුපියණි, දැන් අපේ කොළ කැඳ වීදුරුවෙහි අගය ඔබ හොඳින්ම දැනගත යුතු කාලයකි. දැයේ දූ දරුවන් නීරෝගීමත් කිරීමට උදෑසනින්ම ඔබ හුරුවී සිටින "Bed Tea" පසෙකළා කොළ කැඳ වීදුරුවට හුරුවෙමු.
කැඳ වර්ග
කැඳ වර්ග ගැන කතා කිරීමේදී අපට ධාන්‍ය කැඳ, කොළ කැඳ, පොතු කැඳ හා වෙනත් ආදී වශයෙන් ශරීරයට වඩාත් ගුණදායී කැඳ වර්ග වෙන්කළ හැකිය .මෙම ලිපියේදී, විශේෂයෙන්ම කොළ කැඳ ගැන තරමක් විස්තරාත්මකව කතා කරමින් ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කළත්, ඉහත සඳහන් කළ කැඳ වර්ග කිහිපයක්ද අපි ඔබට හඳුන්වා දෙන්නෙමු.
ධාන්‍ය කැඳ
1. මෙනේරි කැඳ
2. කුරක්කන් කැඳ
3. තණහාල් කැඳ
කොළ කැඳ
1. හාතවාරිය
2. ඉරමුසු
3. හීංබෝවිටියා
4. මොණරකුඩුම්බිය
5. දිවුල් කොළ
6. කරපිංචා කොළ
7. ගොටුකොළ
8. රණවරා කොළ
9. වැල්පෙනෙල කොළ
10. මුස්සැන්ද කොළ
11. මුගුණුවැන්න කොළ
12. ගොනිකා කොළ
13. උදුපියලිය
14. එළබටු දළු
15. කරල් සැබෝ
16. එල පිටවක්කා
17. වැල් තිබ්බටු කොළ
18. කුප්පමේනියා
19. යකිනාරං කොළ
20. පොල්පලා
Share This Article