මයිකල් ජැක්සන්ගේ ජිවිත කතාවේ ඔබ නොදත් කතාව
Tuesday, 12 February 2019 - 14:18 | Views - 638
මයිකල් ජැක්සන් මිය ගිහින් වසර 10ක් සපිරෙන්න ඔන්න මෙන්න තරම්ය. අදටත් සංගීතයට වහ වැටුණු සැවොම ඔහු ගැන කතා කරන්නේ, ඔහු යුගයක් මූර්තිමත් කළ රසය ලොවට බෙදූ සුපිරිතම ගායකයකු වන නිසාමය. ඔහුට ආදරය කරන වැඩිදෙනාගේ කැමැත්ත පරිදි ඔහු ගැන නොදත් තොරතුරු ද සමඟ ඒ රසවත් අතීතය සිහිකළ යුතුය.
 
ඔහු ඇත්තෙන්ම එදා මෙදාතුර ලොව බිහිවූ ඉතාම සාර්ථක ප්‍රාසාංගික ශිල්පියා ලෙස ගිනස් වාර්තා පොතෙහි නම රැන්දූ ගායකයා කීවොත් නිවැරැදිය. එපමණක් නොව ඔහු ගේය පද රචකයෙකි. ශබ්දවාහිනී තැටි නිෂ්පාදකවරයෙකි. තනු රචකයෙකි. නැටුම් ශිල්පියෙකි. එසේම නර්තන නිර්මාතෘවරයෙකි. හා නළුවකු, ව්‍යාපාරිකයකු හා සමාජ සේවකයකුද වූයේය.
 
සමාජයේ දුප්පත්ම තැනකින් හිස එසැවූ ඔහු ඒ නිසාම ප්‍රමුඛව තවමත් පීඩිතයන් අතර වැජඹෙයි. ඇමෙරිකාවේ ඉන්දියානා ප්‍රාන්තයේ චිකාකෝවේ ගැරී නුවර කළු ඇමෙරිකානු කම්කරු පන්තියට අයත් පවුලක හෙතෙම උපත ලදුයේය. දරුවන් 10කින් යුත් පවුලක අටවැන්නාය.

පියා යකඩ මෝලක කම්කරුවකු වූ ජෝෂප් වෝල්ටර් 'ජෝ' ජැක්සන් විය.
 
මව වූයේ කැතරින් ඊස්තර් ස්ක්‍රෑස්ය. වාසනාවකටදෝ සංගීත රස හදවතට කාවද්දන පරිසරයක් හිමිකර දුන්නාක් මෙන් මයිකල් ජැක්සන්ගේ පියා 'ෆෝල්කන්' නම් වූ "රිද්ම් හා බ්ලූ" (R & B) සංගීත කණ්ඩායමකට සම්බන්ධව සිටියේය.
 
සංගීතයට ළැදි අයකු වුවත් ජැක්සන්ගේ පියා දරුවන් හදාගැනීම උදෙසා අනුගමනය කළ දැඩි කායික, වාචසික හා මානසික දණ්ඩන ක්‍රම නිසා ඔහු පීඩාවට පත් කෙරුණද එයම ඔහු සංගීතඥයකු ලෙස ගොඩනැඟෙන්නට මහත් ශක්තියක් කැපවීමක් කිරීමට මඟ සලසා දුන්නේය.
 
මයිකල් ජැක්සන්ගේ සොහොයුරන් වූ ජැකී, ටිටෝ හා ජර්මේන් විසින් ගොඩනඟා තිබුණ "ජැක්සන් සහෝදරයෝ" jackson brothers නම් සංගීත කණ්ඩායමට 1964 දී මයිකල් හා මාර්ලින් යන සහෝදරයන් ද එක්වූයේ කොන්ගෝ හා ටැම්බුරීන වාදකයන් ලෙසය. එහි විශේෂයක් වූයේය. එනම් කලකට පසු මයිකල් පසුබිම් ගායනයෙන් හා රංගනයෙන් එම කණ්ඩායමට දායක වීමය. වයස අවුරුදු 8 දී ජර්මේන් සමඟ මයිකල් ගීත ගැයීමට වූයෙන් ඒ නිසාම ඔවුන්ගේ සංගීත කණ්ඩායම "ද ජැක්සන් 5" (the jackson 5 )ලෙස හැඳින්වෙන්නට විය. ඔහු කේවල ගායකයකු ලෙස තම ජීවිතය ඇරඹුවේ 1971 දීය. එය ඔහුගේ ජීවිතයේ හැරවුම් ලකුණක් විය.
 
මේ සාර්ථක ගමන් මඟේ 1980 මුල් කාලය වෙද්දී ජනප්‍රියම සංගීත දහරාවේ ප්‍රකට චරිතයක් බවට පත් මයිකල්ගෙ බීට් ඉට් (beat it) බිලී ජින් (billlie jean) හා ත්‍රිලර් Thriller) වැනි ගීත ඇල්බම සඳහා යොදා ගැනුණු වීඩියෝ පට නිසා ගීතය එතෙක් පැවැති පැරැණි ආරෙන්, රාමුවෙන් ඔබ්බට ගිහින් දෘෂ්‍ය කලා මාධ්‍යයක් හා ප්‍රචාරාත්මක මෙවලමක් ලෙස පරිවර්තනය වූයේය. තවද එකල ආරම්භ කෙරුණු ර්ඊඍ නාළිකාවේ ජනප්‍රියතාවටද එම ගීත ඇල්බම මහත් දායකත්වයක් සැපයීය. "බ්ලැක් ඕ වයිට් (black or white) ස්ක්‍රීම් (scream) වැනි ජැක්සන්ගේ ඇල්බම 1990 දශකයේ ඉහත නාළිකාවේ ජනප්‍රියම ගීත සමුච්චය විය.
 
ගීත වීඩියෝ හා වේදිකා රංගන හරහා 'රොබෝ' (robot) හා මූන්වොක් (moon walk) යනුවෙන් නම් සැපැයූ සංකීර්ණ නැටුම් ආකාරයෙන් ජැක්සන් විසින්ම ජනප්‍රිය කරනු ලැබූ ඒවා විය. ඔහුටම ආවේණික සුවිශේෂ ගී හඬෙන් හා මිහිරි වූ උච්චාරණයෙන් "හිප් හොප්", පෝස්ට් ඩිස්කෝ", සමකාලීන රිද්ම් හා බ්ලූ, "පොප්" හා "රොක්" සංගීත ආර සංගීත ශිල්පීන්ගේ මහත් ආභාෂයට ලක් වීමකට බඳුන් විය.
 
1982 දී නිකුත් වුණු ජැක්සන්ගේ 'ත්‍රිලර්' කියන්නේ ලෝකයේ මෙතෙක් වැඩියෙන්ම අලෙවි වූ ගීත ඇල්බමයයි. ඕෆ් ද වෝල් (off the wall) 1979, බෑඩ් (bad) 1987, ඩේන්ජරස් (dangerous) 1991, හිස්ටි්‍ර (history) 1995 කියන්නේ ද මෙතෙක් ලෝකයේ වැඩියෙන්ම අලෙවි වූ ගීත ඇල්බමයන්ය. ඒවා පිටපත් මිලියන 750ක් පමණ ලෝකය පුරාම අලෙවි වී ඇති බවට ගණන් බලා ඇත. එනමුත් 2001 දී එළි දැක්වුණු "ඉන්විසිබල්" (invinceble) ඇල්බමය නම් ඒ ආකාරයෙන්ම සාර්ථක වූයේ නැත.
 
"රොක් ඇන්ඩ් රෝල් යශෝ ශාලාවට (Rock and Roll Hal of Fame ) දෙවතාවක් කැඳවාගෙන එනු ලැබූ කලාකරුවන් කිහිප දෙනා අතරට වැටෙන ජැක්සන් 'නැටුම් යශෝ ශාලාවට (Dance Hall of Fame) ප්‍රවිශ්ට කරවනු ලැබුවේ ලෝක 'රොක්' හා "රොක් ඇන්ඩ් රෝල්" ක්ෂේත්‍රයෙන් පැමිණි ප්‍රථම හා මේ දක්වා වන එකම ශිල්පියා ලෙසටය. ග්‍රෑම් වෘත්තාන්ත තරු (Grammy Leagend Award) හා 'ග්‍රෑම් යාවජීව කාර්ය සාධන (Grammy Life time Achievement Award) ඇතුළු ග්‍රැමී සම්මාන 13ක්ද "සියවසේ කලාකරු" සම්මානය ඇතුළු ඇමෙරිකානු සංගීත සම්මාන 26ක්ද තම ගායන කුසලතාව වෙනුවෙන් "ඇමෙරිකාවේ කේවල අංක එක" සම්මාන 13ක්ද ඇතුළත්ව සම්මාන සිය ගණනකින් ජැක්සන් පිදුම් ලැබීය. එය ජනප්‍රියම සංගීත ක්ෂේත්‍රයේ වැඩිම සම්මානයකට පාත්‍ර වීමක්ය.
 
ඔහු සැබැවින්ම ලොව ඉහළින්ම කැපී පෙනුණු මානව හිතවාදියකු හා පරාර්ථකාමියකු විය. ඔහු 1992 ඇරඹූ "ලෝක සංහිඳියා පදනම(Heal the World Foundation) හරහා ද ඇමෙරිකානු ඩොලර් මිලියන 300කට අධික ප්‍රමාණයක් යුද්ධයෙනුත්, දිළිඳුකමෙනුත්, රෝගාබාධවලිනුත් පීඩාවට පත් දරුවන්ගේ සුබ සිද්ධිය ඇතිකරලීම උදෙසා යෙදවීය. එය ලොව ජනප්‍රියම කලාකරුවන් අතරින් වැඩිම ධන පරිත්‍යාගයක් සිදුකළ පුද්ගලයා ලෙසින් එය ගිනස් වාර්තා පොතට ඇතුළත් කරවූ දෙයක් විය.
 
තවත් සුවිශේෂී සිදුවීමක් වූයේ 1984 දීය. එනම් රොනල්ඩ් රේගන් ජනාධිපතිවරයා අතින් ඔහු ගෞරව සම්මානයට පාත්‍ර වීමය. ඒ අන් කිසිවක් නිසා නොව මද්‍යසාර හා අන්තරායකර ඖෂධ පාවිච්චියට ඇබ්බැහි වූවන් එයින් මුදා ගැනීම පිණිස ධන පරිත්‍යාග කිරීම වෙනුවෙනි. එයින් තවත් ජනප්‍රිය දෙයක්ද සිදුවිය.
 
එනම් ධන පරිත්‍යාගය වෙනුවෙන් 'පරිත්‍යාගයේ ගීය' We are the World (ලොව නම් අපි වෙමු) නම් ගීය අදටත් අමතක නොවන නිසාවෙනි. එහි ගීපද රචකයා වූයේ ලයනල් රිචී හා මයිකල් ජැක්සන්ය. එයින් අරමුණු කෙරුණේ ඇමෙරිකාවේ හා අප්‍රිකාවේ දිළින්දන් කුස ගින්නෙන් මුදා ගැනීමය. එම ගීතයද ඇමෙරිකානු සම්මාන දෙකකින්ම පිදුම් ලැබීය.
 
ඒ ගීතයේ නිර්මාණය හා "අප්‍රිකාව වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය" යන අදහස ධ්වනිත වීම නිසාවෙනි. ගායකයකු ලෙස නොව ගී පද රචකයකු ලෙස ජැක්සන්ට සම්මානයක් හිමිවූ එකම අවස්ථාව එය විය. මේ හා බැඳුණු තවත් සිදුවීමක් සිදුවිය. රයන් වයිට්ගේ මරණයෙන් පසු ඒඩ්ස් රෝගය නිවාරණය උදෙසා ආධාර හා පර්යේෂණ සඳහා වැඩි මුදලක් වෙන් කරන්නැයි ඔහු එවක ජනාධිපති බිල් ක්ලින්ටන්ගෙන් ඉල්ලීය. ඒ එකල 'ජැක්සන්ටත් ඒඩ්ස් ඇති' ය යන කට කතා පැතිර යමින් තිබූ වකවානුවක එම අපවාදයන්ද නොතකා හරිමිනි. එය එකල කාගේත් කුතුහලය දනවන්නක්ම වූයේය. ඔහු කොසෝවෝ සරණාගතයන් හා ග්වාතමාලාවේ දරුවන් වෙනුවෙන්ද මහත් ධනයක් කැප කළේය.
 
තරුණ කාලයේ ඔහුට තිබුණේ දුඹුරු පැහැති සමකි. එහෙත් හිටි ගමන් 1980 මැද භාගයේ සිට එම සම සුදුපැහැ ගැනීම නිසා "ජැක්සන්ට ඒඩ්ස් ඇති" කතාවලට අත්තටු ලැබුණාක් මෙන් වූයේය. එයට විශේෂ හේතුවක් වූයේ එසේ සුදුපැහැවීම "සුවිශේෂ චර්ම රෝගයක්" නිසාවෙන් වූ බවට ජනතාව සිතූ නිසාය.
 
එහෙත් පසු කලෙක තම ජීවිත කතාව ස්වයං ලිඛිත චරිතාපදානයක් ලෙස ලියූ හෙතෙම ඒ කටකතාවලට පිළිතුරක් දෙන්නාක් මෙන් සඳහන් කර තිබුණේ තමාගේ නාසයේ ප්ලාස්ටික් සැත්කම් දෙකක් සහ කම්මුල් දෙකේ වළ ගැසීමක් ඇති වන පරිදි සැත්කමක් කර ගත් ලෙසින්ය. එනමුත් ඔහුගේ මුහුණේ සැත්කම් රාශියක් කළ බවට වෛද්‍යවරු කිහිපදනකුම පසුව මාධ්‍යයට අදහස් පළ කළහ.
 
මේ කතා හා බැඳුණු අපූරු දෙයක්ද සිදුවිය. එනම් ප්‍රතිකාර ගන්නට යෑමේදී ඔහුට උවටැන් කළාවූ මෙන්ම මානසිකව ද සහාය ලබාදුන් දන්ත හෙදියක වූ ඩෙබී රෝ(Debbie Rowe) ඔහුගේ දෙවැනි බිරිය බවට පත්වූවාය. ජැක්සන්ගේ වැඩිමහල් දරුවන් දෙදෙනාගේ මව ඇයය. ඔහු පළමු වරට විවාහ වී සිටියේ සුප්‍රකට ගායකයකු වූ එල්විස් ප්‍රෙස්ලිගේ දියණිය වූ ලීසා මේරි ප්‍රෙස්ලි සමඟය. ඉන් නොනැවතුණු ඔහු 2002 දී කෘත්‍රිම සිංචන ක්‍රමය මඟින් තෙවැනි දරුවකුද උපදවා ගත්තේය. එහෙත් එම දරුවාගේ මව අප්‍රකටය.
 
ඔහු සැබැවින්ම දේශපාලන ආර්ථික පරස්පරතා ඉක්මවා ගිය ජනප්‍රියම කලාකරුවෙකි. ඊට හොඳම නිදසුන නම් 1989 දී ඔහු සෝවියට් සංගමයේ රූපවාහිනි තිරයේ වෙළෙඳ දැන්වීමක දර්ශනය වීමට වරම් ලැබූ පළමු බටහිර ජාතිකයා වීමය. එපමණක් නොව ධවල මන්දිරය මඟින් ඔහු "දශකයේ කලාකරුවා" යන සම්මානයෙන් ජොර්ජ් ඩබ් බුෂ් ජනාධිපතිවරයා විසින්ද නම් කළේය. ඔහුගේ ජීවිතයේ තවත් පැතිකඩක් විවර කරන්නට සමත් වූයේ ඔහුගේ දෙවැනි කෘතියයි. Dancing the Dream නමැති කවි නිර්මාණ එකතුව එළිදුටුවේ 1992 දීය. එය විචාරකයන්ගේ දෝෂදර්ශනයට ලක්වුවද එයම 2009 දී දෙවැනි මුද්‍රණය ලෙස පළවූ පසු යම් ඇගයීමකට ලක්වූයේය.
 
2006 දී Neverland Ranch නමින් හැඳින්වූ ඔහුගේ සුවිසල් මන්දිරයේ වියදම අවම කිරීමේ පියවරක් ලෙස වසා දැමීමේ සිදුවීම සැලවීමත් සමඟ ඔහු ආර්ථීක අතින් යම් පරිහානියකට පත්ව ඇති බව ලොවම කතාවෙන්නට පටන් ගත්තේය. 2009 මාර්තු මාසයේදී "දිස් ඊස් ඉට්" (This is it) ලෙස නම් කළ නව ප්‍රසංගයක් ඉදිරිපත් කර තමන් විශ්‍රාම ගැනීමට අදහස් කරන බව ඔහු මාධ්‍යයට අනාවරණය කළේ ලොවම පුදුමයට පත් කරමිනි. ඒ අනුව ලන්ඩන්, පැරිස්, නිව්යෝර්ක් හා මුම්බායි හිදී ප්‍රසංග 10ක් පැවැත්වීමට සැලසුම් කෙරිණි. ප්‍රසංගයේ ප්‍රවේශ පත්‍ර මිලියනයක් පැය දෙකකට අඩු කාලයකදී ලන්ඩන් නුවරදී අලෙවි විය. මෙහි පළමු ප්‍රසංගය ආරම්භ වීමට සති තුනකට අඩු කාලයකදී ඔහු තම හෘදයේ ක්‍රියාකාරිත්වය ඇනහිටීමෙන් මරණයට පත්විය. එහෙත් ඔහු මැරුණේ වෙනත් හේතුවක් නිසා බැව් පසුව සොයා ගැනුණේය. එනම් ඔහුගේ වෛද්‍යවරයා වූ කොන්ඩේ මරේ විසින් ප්‍රමාණය ඉක්මවා නියම කළ වේදනා නාශක ඔෟෂධ නිසාවෙනි. සිද්ධිය පිළිබඳව එම වෛද්‍යවරයාව ලොස් ඇන්ජලිස් අධිකරණය මඟින් පසුව වරදකරු කෙරිණි.
 
ඔහුගේ දේහය කැලිෆෝනියාවේ ග්ලෙන්ඩේල් හි ෆොරෙස්ට් ලෝව්න් මෙමෝරියල් පාක් හි මිහිදන් කෙරිණි. එහෙත් ඔහු මියගිය පසු තවමත් ඒ මරණයට හේතුවූ කරුණු වෙනත් එකක් විය හැකි බවට පළවන අදහස් බොහෝය. ඒ තරමටම මයිකල් ජැක්සන්ට ආදරය කරන ජනතාවක් තවමත් සිටින නිසාවෙනි.
 
ආදරය වැඩිකමට තවත් අය සිතන්නේ ඔහු හැබෑවටම නොමළ බවය.
 
((The Daily Telegraph ඇසුරෙන්)
සුලක්ඛන ජයවර්ධන.

Share This Article
Hiru Tv Blog
කාන්තාවකගේ රුව ඉක්මණට ම වියපත් වෙන්න පටන්...
Hiru Tv Blog
හැම කාන්තාවක්ම තමන්ගේ කොණ්ඩය ලස්සනට නිරෝගී...
Hiru Tv Blog
Thursday, 17 October 2019 - 9:51
Hiru Tv Blog 146 Views
සමාජයේ එක් පිරිසකට ප්‍රිය මාංසපේශීන්ගෙන්...
Hiru Tv Blog
Wednesday, 16 October 2019 - 15:56
Hiru Tv Blog 750 Views
ලස්සනට ඉන්න කැමැති ඔබට ප්‍රයෝජනවත්වන...
Hiru Tv Blog
පේර අපේ දත්වල ශක්තිය මනින හොඳම මිනුම් දණ්ඩකි....
Hiru Tv Blog
Jennifer Aniston කියලා කියන්නේ ලෝකය පුරා අතිශය ජනප්‍රියතාවයක් දිනාගත්ත ඇමරිකානු රංගන...
Hiru Tv Blog
පාකිස්තානයේ පස් දින නිල සංචාරකට පැමිණි බි‍්‍රතාන්‍යයේ ඔටුන්න හිමි විලියම්...
Hiru Tv Blog
ඩිශ්නි රාජපක්ෂ කියන නම කෙනෙකුට නුහුරු වෙන්න පුළුවන්. නමුත් ඇයගේ රූපය මේ දිනවල...
Hiru Tv Blog
Saturday, 06 July 2019
Hiru Tv Blog 6,477 Views
1G , 2G, 3G  යන යුග පසු කරමින් වර්තමානයේ අපි ඉන්නේ 4G, 4G LTE  යුගයේ, ඔන්න දැන් 4G LTE  යුගයේත්...
Hiru Tv Blog
පසුගියදා Facebook, Instagram, WhatsApp යන සමාජ මාධ්‍ය ජාලා හදිසියේම කඩාවැටීමකට ලක්වුණා. WhatsApp සහ...
Hiru Tv Blog
Android 4.0.3, IOS 8 හෝ KaiOS 2.5.1 මෙහෙයුම් පද්ධති වලින් ක්‍රියාත්මක වන ජංගම දුරකථන WhatsApp භාවිතය...
Top