තාත්ති ජොලියට බර කෙනෙක්- අනතුර වෙලා සෑහෙන වෙලාවකට පස්සේ තමයි තාත්තිව රෝහලට අරගෙන ගිහින් තියෙන්නේ
Thursday, 24 January 2019 - 15:45 | Views - 22,747
මෙරට සිනමාවේ ස්වර්ණමය යුගය තුළ ඔහුගේ හඩ සිනමාවට අවශ්‍යම වුණා. ඒ රූපය හා හාස්‍ය රංගනයද සිනමා කාචයට නැතිවම බැරි වුණා. ඒ හඩ රූපය එකවරම නිහඩ වුණා. සිනමාවේ සිනහමුසු මුහුණ නිහඩ වී හරියටම වසර 20යි. නමුත් ග්‍රැන්විල් රොද්‍රිගෝ නම් වූ අසහාය රංගනවේදියාගේ නම, රූපය තවමත් කාටත් මතකයි. ඔහුගේ ආදරණිය වැඩිමහල් පුත් චිරත් රොද්‍රිගෝ ආදරණිය පියාගේ මතක ආවර්ජනය කරන්නේ මෙහෙමයි.
චිරත්ගේ පියා මිය ගියත් අදටත් ඔහුගේ නම ජනප්‍රියයි. ඔහුගේ දක්ෂතා කාටත් මතකයි. ඔහුගේ අඩුව පුරවමින් කලාවේ නොරැද විදෙස් ගත වෙන්න හිතුවේ ඇයි කියලා මුලින්ම කතා කරමු..?
මම උසස් පෙළ විභාගය අවසන් වූ ගමන්ම වැඩිදුරටත් අධ්‍යාපනය ලබන්න විදෙස් ගත වුනා. 2007 වර්ෂයේ තමයි මම ඔස්ට්‍රේලියාවට ආවේ. වසරකට වතාවක් ලංකාවට යනවා. අධ්‍යාපන කටයුතු අවසන් වූ ගමන්ම මෙහෙ රැකියාවක් කරන්න පටන් ගත්තා. ඒ නිසා තමයි දිගටම මෙහෙ රැදිලා ඉන්නේ.
ඔබ විවාහකයිද..?
තවම මම විවාහ වෙලා නැහැ. මගේ ලොකු මල්ලි විවාහකයි. ඔහු ඉන්නේ ලංකාවේ. මගේ චුටි මල්ලි ඉන්නේ මගෙත් එක්ක ඕස්ට්‍රේලියාවේ.
ඔබේ පියා ජනප්‍රිය රංගන හා ගායන ශිල්පියෙක්ව හිටි නිසා පාසල් කාලේ ඔබටත් හොද පිළිගැනීමක් තියෙන්න ඇති..?
මම ඉගෙන ගත්තේ කොටහේන බෙනඩික් විද්‍යාලයෙන්. තාත්ති නැති වෙද්දී මගේ වයස අවුරුදු 12යි. පොඩි මල්ලිට 10යි චුටි මල්ලිට 4යි. අපි ඉස්කෝලේ ගියේ තාත්ති එක්ක. ඉස්කෝලේ තියෙන විවිධ ප්‍රසංගවලට පාසල් ළමයින්ට නාට්‍ය හා ගීත පුරුදු කරන්නේ ගොඩාක් වෙලාවට තාත්තා. ඒ නිසා තාත්තා එක්ක හුගක් අය හිතවත්. අපිට තිබුණු සැලකිල්ලත් එහෙමමයි.
පියා කලාකරුවෙක් නිසා ඔබටත් කලාකරුවන් ආශ්‍රය කරන්න අවස්ථාව ලැබෙන්න ඇති. පියාගේ වියෝවෙන් පසුව කලාකරුවන් එක්ක තිබෙන සම්බන්ධය කොහොමද..?
තාත්ති ලගින්ම ආශ්‍රය කළේ එච් ඒ පෙරේරා අංකල්ව හා රොඩ්නි වර්ණකුලසුරිය අංකල්ව. රොඩ්නි අංකල් එක්ක නම් අදටත් මම කතා කරනවා. අපි පුංචි කාලේ තත්තිව බලන්න ආ කලාකරුවන් හිටියා. ඔවුන්ගේ ආශ්‍රය ලබන්න පුළුවන් වුනා. දැන් නම් එතරම් ආශ්‍රයක් නැහැ. මම විදෙස් ගතව ඉන්න නිසා.
ඔබේ පියා අද හිටියානම් කියන සිතුවිල්ල ඔබේ හිතේ ඇති..?
තාත්ති නැති වුනේ ජනප්‍රියත්වයේ හිනිපෙත්තේම හිටිය කාලේ. ඔහු අද හිටියා නම් ඔහුගේ වයස 61යි. අද එදාටත් වඩා ජනප්‍රිය මට්ටමක ඉදිවී කියන විශ්වාසය තියෙනවා. ඊට වඩා තාත්තිගේ ආදරේ අපිත් එක්කම තිබ්බ නම් කියලා හිතෙනවා. ඔහු එතරම්ම පවුලට ආදරේ කළ පුද්ගලයෙක්. තාත්ති ජොලියට බර කෙනෙක්. ගෙදරත් එහෙමයි පිටත් එහෙමයි. ඒ වගේම කොහේ ගියත් තාත්තිට පිළිගැනීම තිබුණා. තාත්තිගේ සෝබන නැහැ, පොළොවේ පයගහලා ජිවත් වුනේ. කොහේ ගියත් බස් එකේ ගියේ ආවේ. තාත්තිට ජනතාව කොච්චර ආදරෙයිද කිව්වොත් බස් එකට නගින තාත්තිට කවුරුම හරි නැගිටලා සීට් එක පවා දීලා තියෙනවා. ඒ වගේම තාත්ති හිටියා නම් අද අපි තුන්දෙනා දිහා බලලා සෑහෙනට සතුටු වෙනවා.
ඔහු අනතුරට පත් වූ දින ඔහු සමග ඔබත් ඔබේ පවුලේ අයත් හිටියා, ඔබ හා පවුලේ සියලු දෙනාගේ ජිවිත බේරුණු පියාගේ ජීවිතය අහිමි වුනු ඒ අසුබ දවස ගැන මතක් කරමු..?
1999 ජනවාරි 11 තමයි තාත්ති අනතුරට ලක් වුණේ. එදා වෑන් එකේ තාත්ති එක්ක මමත් මල්ලිලා දෙන්නත් අම්මත් හිටියා. අපි හතරදෙනාව තාත්ති ආනන්ද විදුහලේ පිහිණුම් පුහුණුවීම්වලට දාලා එයා ගියා මහරගම තිබුණු ත්‍යාග ප්රධානොත්සවයකට. තාත්ති වගේම සංජය ලීලාරත්න, කුරුං කුරුං අංකල්ලා තමයි එහි ආරාධිතයින් වුණේ. ඒ යන අතරතුර තමයි මහරගම හංදියේදී වාහනේ අනතුරට ලක් වෙලා තිබුනේ. අම්මට අනතුර ආරංචි වෙලා තාත්තිව බලන්න රෝහලට ගියේ අපිව ගෙදර දාලා. තාත්තිව බලලා අම්මි ගෙදර ආවේ එතරම් සතුටකින් නෙමෙයි. ඒ වෙලාවේ තාත්තිට බරපතල තත්ත්වයක් තිබිලා නැහැ. අනතුර වෙලා සෑහෙන වෙලාවකට පස්සේ තමයි තාත්තිව රෝහලට අරගෙන ගිහින් තියෙන්නේ. රේඩියෙටරයේ වතුරට තාත්තිගේ කකුල තුවාල වෙලා. ඒ තුවාලෙට විෂබීජයක් ගිහින් ඒක හදවතට බලපාලා තමයි තාත්ති නැති වුණේ කියලයි කිව්වේ. තාත්ති නැති වුනේ ඊට දවස් තුනකට පස්සේ. ජනවාරි 14 වැනිදා. බෙහෙත් දාන්න පරක්කු වෙලා. එහෙම නොවුනා නම් තවමත් තාත්ති ජිවතුන් අතර.
පියා නැතිව ඔබේ මව ඔබ හා සහෝදරයන් දෙදෙනාව හදාවඩා ගත්තා. ඇය ගැන කිව්වොත්..?
මගේ අම්මා ශ්‍යාමලී. ඇය තමයි මගේ ජිවිතේ වීරවරිය. තාත්ති නැති වුනාට පස්සේ අපිව හදාගන්න ලොකු කැපකිරීමක් කළා. කවදාවත් තාත්ති නැති අඩුව දැනෙන්න දුන්නේ නැහැ. අපිට අම්මත් තාත්තත් වුනේ එයා. කිසිම අඩුවක් කලේ නැහැ. පිරිමියෙක් නැතුව කොල්ලෝ තුන්දෙනෙක් හදන එක හිතන තරම් ලෙහෙසි නැහැ. සැමියා නැතුව බිරිදට ජිවත් වෙන්න අමාරු සමාජයක අපිවත් හදාගෙන අම්මි වැදගත් විදිහට ජිවත් වුනා.
බොහෝ දෙනෙක් ග්‍රැන්විල්ගේ දරුවන් ගැන දන්නේ නැහැ. ඒ නිසා පියාගේ නම කලාවෙන් ඉදිරියට රැගෙන යන්න උත්සහ කරන්නේ නැද්ද..?
අපි තුන්දෙනාටම හොදට ගයන්න පුළුවන්. මම ගීතයක් කරලා සමාජ මාධ්‍යක ප්‍රචාරය කළා. ඊට ගොඩක් ප්‍රතිචාර ලැබුනා. ඒ නිසාම පසුගිය දෙසැම්බර් මස මම ලංකාවට ආවේ ගීතයක් කරන්න. ඒත් ඒක කරගන්න වෙලාවක් ලැබුනේ නැහැ. මේ වසරේ කොහොම හරි ගීතයක් කරන්න උත්සහ කරනවා. මුලින්ම තාත්තිට උපහාරයක් වෙන්න ඔහුගේ ගීතයක් කරන්න ඉන්නේ. ඉවුරක ඔබ කියලා.
රගපාන්න ආරාධනා ලැබිලා නැද්ද..? ආරාධනා ලැබුණොත් පිළිගන්නවද..?
ආරාධනා ලැබිලා නැහැ. ලැබුනොත් ආසයි රගපාලා බලන්න. කැමතියි ඒ ආරාධනා පිළිගන්න.
හර්ෂණී වීරරත්න
Share This Article