දරුවාට නොමිලේම දිය හැකි දිව්‍යමය ඖෂධය
Tuesday, 11 September 2018 - 17:16 | Views - 2,740
මවුකිරි දීම සහ රැකියාවේ යෙදෙන මවුවරුන් පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ පෝෂණය නංවාලීම සඳහා වන සිවිල් සමාජ සංසදය පසුගියදා විශේෂ වැඩසටහනක් සංවිධානය කර තිබිණි. එහිදී  මවුකිරි පිළිබඳ අවධානය යොමු වූ අතර, රැකියාවේ යෙදෙන මවුවරුන්ට තම දරුවාගේ මවුකිරි අවශ්‍යතාව රැකගැනීම සඳහා අනුගමනය කළ හැකි දෑ මෙන්ම නීතියෙන් ඒ සඳහා පවතින ප්‍රතිපාදන පිළිබඳවද සාකච්ඡා කෙරිණි. මෙම අවස්ථාවට සම්පත් දායකයන් රැසක් පැමිණ සිටි අතර, එහිදී ද සොයිසා කාන්තා රෝහලේ නව ජන්ම ඒකකයේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය නිශානි ලූකස් මහත්මිය ඉදිරිපත් කළ තොරතුරු මවුවරුන්ටත්, මවුවරුන් වීමට සිටින ඔබටත් මෙලෙස ගෙන එන්නෙමු.

දරුවෙකුගේ මොළයේ වර්ධනයට අවශ්‍ය වන්නේ මවුකිරියි
මවකට තමන්ගේ දරුවාට මවුකිරි ලබා දීමට ආරම්භ කළ දවසේ සිට විවිධ කම්කටොලු බාධක ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේ බාධක කම්කටොලු මැඬගෙන ඒවාට විසඳුම් සොයාගෙන දරුවාට මවුකිරි ලබාදීමේ වටිනාකම පිළිබඳ විද්‍යාත්මකව සොයා බැලීමක් මෙලෙස සිදු කරමු. ශ්‍රී ලංකා රජය, ලෝක සෞඛ්‍ය සංවිධානය, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය, වාට්ටුවේ ඩොක්ට කියන නිසාද අපි දරුවාට මවුකිරි දෙන්නේ? එහෙම නැත්නම් කාගේහරි බලකිරීමක් නිසාද අපි දරුවාට මවුකිරි දෙන්නේ? එහෙම නැත්නම් මවුකිරි දීමෙන් මගේ දරුවාට යහපතක් වෙනවාද කියන දේ

හඳුනාගෙනද අපි මවුකිරි දෙන්නේ?
අපේ රටේ බහුතරය දන්නවා මවුකිරි දෙන එක හොඳයි කියලා. නමුත් පොඩි ගැටලුවක් ආපුගමන් අපි පිටිකිරිවලට මාරු වෙනවා. මවුකිරි වෙනුවට පිටිකිරි ලබාදෙන්න ගන්න තීරණය හරිම සරල විදිහටයි එතකොට දකින්නේ. සත්ත්ව ලෝකයේ තමන්ගේ පැටවුන්ට මවුකිරි ලබාදෙන එකම සත්ත්වයා මිනිසා නොවෙයි. ක්ෂීරපායි සතුන් සියලු දෙනාම තම තමන්ගේ පැටවුන්ට කිරි පොවනවා. මිනිසාත් සත්ත්ව ලෝකයේ එක් කොටසක්. වෙනත් සතුන් තමන්ගේ පැටවුන්ට තවත් සතෙකුගේ කිරි ලබා දෙන්නේ නැහැ. අලියා තමන්ගේ පැටියාට එළුකිරි දෙන්නේවත්, මුවා තමන්ගේ පැටියට එළකිරි දෙන්නේවත් නැහැ. මෙහෙම තමන්ගේ පැටියට තමන්ගේ කිරි දෙන්නේ ඒ ඒ සතාට එරෙන කිරි ජාති එකිනෙකට වෙනස් නිසයි. ඒ කියන්නේ අලියෙකුට තිබෙන අවශ්‍යතාවන්, හරකුන්ට තිබෙන අවශ්‍යතාවන්, මිනිසුන්ට තිබෙන අවශ්‍යතාවන් එකිනෙකට වෙනස්. සීල් කියන ක්ෂීරපායි සතාගේ කිරිවල මේද ප්‍රමාණයන් ඉතා අධිකයි. ඒ කිරි අපි බිව්වොත් හරිද? සීල් පැටවුන් සීතලෙන් ආරක්‍ෂා විය යුතුයි, ඒ වගේම සීල් පැටවෙකුට කිරි බොන්න ලැබෙන්නේ දින හතරකට වරක්. මේ තත්ත්ව නිසයි සීල්ගේ කිරි අධික මේදය සහිතව නිපද වෙලා තිබෙන්නේ. එළදෙන ගැන බැලුවොත් එළකිරිවල අධික මේද ප්‍රමාණයන් තිබෙනවා. වසුපැටියෙකු ඉපදුණු ගමන් නැගිටිනවා. නමුත් මිනිස් බබෙක් මොන කිරි ජාතියක් දුන්නත් ඉපදුණු ගමන් ඇවිද්දවන්න බැහැ. මාස 12ක් වුණත් ඇවිදින්නේ ආධාරයක් ඇතිවයි. වහුපැටියෙක් වැඩිහිටි වයසට පත්වන්න ගතවෙන්නේ අවුරුදු හතරක් වගේ කෙටි කාලයයි. නමුත් මිනිස් බබෙක් වැඩිහිටියෙක් වෙන්න අවුරුදු 18ක් පමණ ගතවෙනවා. ඒ අනුව අපට හරකාගේ වර්ධන වේගය හා මිනිසාගේ වර්ධන වේගය වෙනස් බව පැහැදිලි වෙනවා. එතකොට අපි හරකාගේ කිරි අරන් බිව්වොත් මොකද වෙන්නේ? මහත බබාලා, ස්ථූල බබාලා ඇතිවෙන්න එක හේතුවක් තමයි මේක. මහත බබාලා ලස්සනයි කියලා අපි හිතුවට මේ බබාලට හෘද රෝග, දියවැඩියාව, අධි රුධිරපීඩනය වගේ රෝග ඇති වීමේ අවදානමක් පවතිනවා. මේක තමයි ගැටලුව. ස්වභාවධර්මය අපිව නිර්මාණය කරලා තියෙන්නේ අපේ අවශ්‍යතාවන්ට අනුව ස්වභාවධර්මයෙන් නිර්මාණය කරන ලද කිරි බොන්නටයි. අපි ස්වභාවධර්මයට විරුද්ධව ගිහින් වෙන කාගේහරි කිරි බොන්න උත්සාහ දරනවා. එතකොට මොකද වෙන්නේ අපේ ඇඟ මේ තත්ත්වයට විරුද්ධව ප්‍රතික්‍රියා කරන්න පටන් ගන්නවා. මොකද වෙනත් කිරක් අපේ ඇඟට ආවම අපේ ඇඟ මේක පිටස්තරින් ආපු ප්‍රෝටීනයක් ලෙස සලකා ඊට විරුද්ධව ප්‍රතික්‍රියා කරන්න පටන් ගන්නවා. මේ නිසා අපි දන්නේම නැතිව ලෙඩරෝගවලට ගොදුරු වෙනවා.
දැන් බැලුවොත් මිනිස් කිරක වැඩි වශයෙන් තිබෙන්නේ ලැක්ටෝස්, එයට සමාන කිරක් තියෙන්නේ වඳුරන්ට.

සත්ත්ව ලෝකයේ දියුණුම සත්ත්වයා ලෙස මොළය දියුණුවට පත්වෙන්න මිනිස් කිරිවල තිබෙන ලැක්ටෝස් කියන සංඝටකය හේතු වෙනවා. ලැක්ටෝස්වල අඩංගු ගැලැක්ටෝස් කියන එක ස්නායු පද්ධතියේ වර්ධනයට හේතු වෙනවා. ඒ නිසා දරුවෙකුගේ මොළයේ වර්ධනයට අවශ්‍ය වෙන්නේ මවුකිරියි. එසේ නොමැතිව එළකිරි හෝ වෙනත් කිරි වර්ගයක් ලබාදීමෙන් දරුවෙකුගේ මොළය වර්ධනය සිදු වෙන්නේ නැහැ.

මවුකිරි දීමෙන් දරුවෙකුගේ බුද්ධිය ඒකක 7-10 දක්වා වැඩිකර ගත හැකියි

ක්ෂීරපායි සත්ත්ව විශේෂයන්ගේ මවුවරුන්ට එරෙන කිරි ඒ ඒ සත්ත්වයන් අනුව විශේෂ වෙනවා වගේම ඒ ඒ අම්මගෙන් ඒ ඒ පැටියට එරෙන කිරිත් වෙනස් වෙනවා.
මම ළදරු විශේෂඥවරියක් විදියට රෝහලේදී මම අසනීප වුණු නොමේරු බබාලව තමයි බලන්නේ. ග්‍රෑම් 600 සිට උපත් බර තිබෙන බබාලා අපි ජීවත් කරනවා. ඒ වගේම සති 24 සිට ඉපදුණු බබාලා අපි ජීවත් කරනවා. සති 24න් ඉපදෙන උපත් බර ග්‍රෑම් 600ක බබෙක් වෙනුවෙන් අම්මා කෙනෙක්ගෙන් එරෙන කිරිවල ප්‍රෝටීන අධිකයි. සති 28කින් ඉපදුණු බබෙක් වෙනුවෙන් අම්මා කෙනෙකුට එරෙන කිරිවල ප්‍රෝටීන ටිකක් අඩුයි. අර සති 24 බබාගේ අම්මගේ කිරිවලට වඩා සති 40 බබෙක් වෙනුවෙන් එරෙන කිරිවල ප්‍රෝටීන ඊටත් වඩා අඩුයි. ඒ වගේම මාස හයකට පස්සේ කෑම කන බබෙක් වෙනුවෙන් එරෙන කිරිවල ප්‍රෝටීන තවත් අඩුයි.

මනුෂ්‍යයෙකුගේ ජීවිත කාලය තුළ අධිකම ජීවිත අවදානමක් පවතින්නේ ඉපදෙන මොහොතේයි. ඒකෙන් බේරෙන්න නම් මවුකිරිවල අපි කියන්නේ කොලෙස්ඩ්‍රම් කියන රන්කිරි දරුවා ඉපදිලා පැයක් ඇතුළත ලබාදිය යුතුයි. මේ රන්කිරිවල ජීවිතය ආරක්‍ෂා කරන සංඝටක ගොඩක් අඩංගුයි. මේ කිරි ලස්සන නැහැ. මේක නරක් වුණු කිරි කියලා සමහර මවුවරු ඉවත් කරනවා. සුදුපාටට ලස්සනට නැති වුණාට මේ කිරි එරෙන්නේ බබාගේ ආරක්‍ෂාවටයි. තමන්ට එරෙන කිරි තමයි අම්මා කෙනෙක්ට මුළු ජීවිත කාලය පුරාම තමන්ගේ දරුවාට ලබා දෙන්න පුළුවන් වටිනාම දායාදය.
ඉතාම කලාතුරකින් මව මියගිය දරුවෙකුට කිරි දෙන්න ඥාති මවුවරුන් ඉදිරිපත් වෙනවා. ඒක උතුම් වුණාට පුංචිම බබෙකුට ලොකු බබෙක් වෙනුවෙන් එරෙන කිරි ලබාදෙන එකෙන් පුංචිම බබාට අවශ්‍ය පෝෂණය අඩු වෙන්න පුළුවන්. මේ නිසා තමයි අපේ රටේ මවුකිරි බැංකු ස්ථාපිත කර තිබෙන්නේ. මේ කොහොම වුණත් මව ජීවතුන් අතර සිටිනවා නම් දරුවෙකුට දිය යුත්තේ මවුකිරියි.
මවුකිරි ලෝකයේ අවුරුද්දකට සිදුවන ළමා මරණ ලක්ෂ 08ක් වළක්වනවා

මනුෂ්‍යයෙක් ඉපදිලා පළමු වසර දෙක ඇතුළත තමයි මොළය වර්ධනය සිදු වෙන්නේ. අම්මලා, තාත්තලා දරුවෙකුගේ අධ්‍යාපනය ගැන අවධානය යොමු කරන්නේ පහේ ශිෂ්‍යත්වය වෙනකොටයි. ඒත් පළමු අවුරුදු දෙක වෙද්දී ඇසීම, පෙනීම, ගණිතමය හැකියාව, තේරුම් ගැනීමේ හැකියාව, භාෂාමය හැකියාව, සංවේදනා පාලනය කරගැනීම ආදිය පිළිබඳ අඩිතාලම දරුවෙකු තුළ වැටී අවසන්. දරුවෙකු පිළිසිඳගත් දවසේ සිට දින දහසක් ඇතුළත අපි ලබා දෙන පෝෂණය මගහැරලා මොන දේ කළත් වැඩක් නැහැ. මවුකිරි දීමෙන් දරුවෙකුගේ බුද්ධිය ඒකක 7-10 දක්වා වැඩිකරගත හැකියි. පිටිකිරි ලබාදීමෙන් දරුවෙකුගේ ශරීරය වර්ධනය වුණාට මොළයේ වර්ධනයක් සිදු වෙන්නේ නැහැ. මවුකිරි වගේ වෙනත් ආහාරයක් නැහැ මොළයේ වර්ධනය සඳහා සුවිශේෂී වුණු. තමන්ගේ දරුවා හොඳම ඉස්කෝලෙකට යවන්න අම්මලා උත්සාහ කරනවා, හොඳ ඉස්කෝලෙකට දාගන්න ළමයින්ගේ නමට දේපොළ ලියන අවස්ථාත් තියෙනවා. මේ මොන දේ කළත් වැඩක් නැහැ ළමයාට මවුකිරි දීමෙන් මොළය වර්ධනය වෙලා නැත්නම්.

මවුකිරිවලින් ලියුකේමියාව අඩු වෙනවා
බබෙක් ලෙඩ වුණාම අපි කවුරුත් කැමැති නැහැ ගෙදරක අම්මා රෝහල්ගත වෙනවාට. මොකද එහෙම වුණොත් ගෙදර සියලුම කටයුතු අඩපණ වෙනවා. මවුකිරිවල තිබෙන අනෙක් ගුණයක් තමයි ලෝකයේ අවුරුද්දකට ළමා මරණ ලක්ෂ 08ක් වළක්වන එක. ඒ වගේම කාන්තාවන්ට පියයුරු පිළිකා වැලඳී මියයෑම් වසරකට 20,000ක් වළක්වනවා. ඒ වගේම දරුවෙකුට අවුරුද්දක කාලයක් මවුකිරි ලබා දීම ළමා මරණ අවම කිරීමේ වඩාත්ම ඵලදායී ලෙස සිදු වෙනවා. මෙය ලාන්සර් කියන වෛද්‍ය විද්‍යාවේ ඉතාමත් ප්‍රසිද්ධ ජර්නලයේ සටහන් වූ පරීක්ෂණයක දත්ත අනුවත් තහවුරු කර තිබෙනවා. මවුකිරි දෙන බබෙකුගේ ප්‍රතිශක්තිය ඉතා වැඩියි. අපේ ශරීරයේ තිබෙනවා තයිමස් කියන ප්‍රතිශක්තියට සම්බන්ධ අවයවයක්. මවුකිරි දෙන බබෙකුගේ මේ තයිමස් කියන අවයවය ලොකුයි. ඒ අනුව ලෙඩවලට විරුද්ධව සටන් කිරීමේ හැකියාවත් මවුකිරි බොන බබෙකුගේ ඉතාම ඉහළයි. අම්මා කෙනෙකුගේ ජීවිත කාලය පුරාම වැලඳුණු රෝගවලට එරෙහිව අම්මාගේ ඇ‍ඟේ නිෂ්පාදනය වූ ප්‍රතිදේහ මවුකිරි හරහා දරුවාට ලැබෙනවා. ඉතින් මවුකිරි කියන ජෛව සංඝටකය පර්යේෂණාගාරවලින් හදලා දෙන්න බැහැ. ජීවි පුද්ගලයෙකු තුළම මවුකිරි නිෂ්පාදනය ස්වාභාවිකවයි සිදු වෙන්නේ. මවුකිරි තුළ ප්‍රෝටීන් තියෙනවා, ජීවි සෛල තිබෙනවා, කාබෝහයිඩ්‍රේට ඇතුළු සංඝටගණනාවක් තිබෙනවා. මේවාවලින් තමයි බබෙකුට ලෙඩ හැදෙන එක වළක්වන්නේ. ඒ වගේම දරුවෙකුට අවයව බද්ධයක් සිදු කරන්න අවශ්‍ය වුණොත් එම අවයවය ශරීරයෙන් ප්‍රතික්ෂේප කිරීමේ තත්ත්වයත් මගහැරෙනවා මවුකිරි ලබාදී තිබෙනවා නම්. අපි බබෙකුට ප්‍රතිශක්තීකරණය සඳහා ලබා දෙන එන්නත්වල පොඩිපොඩි අතුරුඵල තිබෙනවා. නමුත් මවුකිරිවල අතුරුඵල කිසිවක් නැහැ. ප්‍රතිශක්තීකරණය ලැබෙනවා. මවුකිරි බොන ළමයෙකුට පිටිකිරි බොන ළමයෙකුට සාපේක්ෂව ශ්වසන රෝග සෑදීමේ අවදානම 72%කින් අඩුයි. පාචන රෝග සෑදීම 64%කින් අඩුයි. කන් අමාරු 50%ක් අඩුයි. හදිසි මරණ 38%ක් අඩුයි.
පාචන රෝග හැදිලා රෝහල්ගත වූ දරුවන් අතරින් බොහෝමයක් සිටින්නේ පිටිකිරි දුන් බබාලයි.

දැන් බබාලට බහුලවම තිබෙන රෝගයක් තමයි ඇදුම කියන්නේ. පිටිකිරි කියන්නේ වෙනත් සත්ත්වයෙකුගේ කිරක්, එහෙමත් නැත්නම් කෘත්‍රිම දෙයක්. අපි බබෙකුට පිටිකිරි දුන්නාම බබාගේ ශරීරය හඳුනා ගන්නේ බාහිරෙන් ආපු ආගන්තුක දෙයක් ලෙසයි. ඒ නිසා බබාගේ ශරීරය එයට එරෙහිව සටන් කරනවා. මේ නිසා බබාලට ඇදුම හැදෙනවා වැඩියි. මවුකිරි දෙන බබෙකුට 9෴ක ඇදුම ඇති නොවීමට ප්‍රතිශක්තියක් ලැබෙනවා. දද කුෂ්ට, පීනස වගේ රෝග වැලඳීම අවමයි. ඒ වගේම හනු ආශ්‍රිත රෝග, දත්වල පවතින විකෘතිතා අඩුවෙනවා. වැඩිහිටියෙකු වන දවසක වුවත් දරුවෙකුට තමන් කුඩා කාලයේ බිව් මවුකිරිවල ප්‍රතිඵල භුක්ති විඳීමට හැකි වෙනවා. එක පිටිකිරි බින්දුවක් දරුවෙකුට දුන්නත් එය හොඳටම ඇති දරුවෙකුගේ ශරීරයේ අහිතකර ප්‍රතික්‍රියා රාශියක් ඇති කරන්න. මොකද ශරීරයේ පවතින ක්‍ෂුද්‍රජීවී සංහතිය වෙනස් වෙනවා. ජාන සංයුතිය වෙනස් වෙනවා. මේ දේවල් හරහා ස්ථුලතාව, හෘද රෝග, දියවැඩියාව, ප්‍රතිශක්තිය ආශ්‍රිත ලෙඩරෝග ඇති වෙන්න පුළුවන්. මවුකිරි බොන බබෙක් ස්ථූල වීමේ ප්‍රතිශතය 23%කින් අඩුයි. පළමු කාණ්ඩයේ දියවැඩියාව 23%කින් අවම වෙනවා. දෙවැනි කාණ්ඩයේ දියවැඩියාවට ගොදුරු වීම 27%කින් අඩු වෙනවා. මවුකිරි දීමෙන් ලියුකේමියාව අඩුවෙනවා.  මෙහෙම බැලුවාම මවුකිරිවලින් ලැබෙන වාසි බොහෝමයි. ඒ වගේම මවුකිරි ලබාදෙන මවකටත් ලැබෙන වාසි බොහෝමයි. පියයුරු පිළිකා වැලඳීම අඩු වෙනවා. ඩිම්බකෝෂ පිළිකා අඩු වෙනවා. ගර්භාෂ පිළිකා අඩු වෙනවා. රක්තහීනතාව අඩු වෙනවා. දියවැඩියාව තියෙන අම්මා කෙනෙකුට ඉන්සියුලින් ගැනීමේ අවශ්‍යතාව අඩු වෙනවා. පිළිසිඳ ගැනීම් 98%ක් අඩු වෙනවා. කිසිම ආහාර පාලනයක් නොකර නැවත සිරුර යථා තත්ත්වයට පත්කර ගන්න හැකියාව ලැබෙනවා. මේ කාලයේ දෙන්නෙක් වෙනුවෙන් කනවා කියලා කන්න නම් නරකයි. අවශ්‍ය වෙන්නේ සමබල පෝෂණයක් ලබාගැනීමයි.

සංසන්දනයක් සිදු කළොත් සිගරට් බොනවාට වඩා සෞඛ්‍ය හානියක් පිටිකිරිවලින් සිදු වෙනවා
ඇයි අපි දරුවෙකුට පිටිකිරි නොදෙන්න ඕන කියන එක පිළිබඳ මවුවරුන් දැනුවත් කරන්න දැන් පවුල් සෞඛ්‍ය කාර්යාංශය පෝස්ටරයක් නිරිමාණය කර තිබෙනවා. අපි මවුකිරිවලින් ලැබෙනවා කියූ වාසි සියල්ල පිටිකිරි දීම හරහා අහිමි වී යනවා. මීට අමතරව පිටිකිරි නිසා පවුලේ ආර්ථිකයට, රටේ ආර්ථිකයට ලොකු පිරිවැයක් දරන්න සිදු වෙනවා. පිටිකිරි බොන ළමයා නිතර ලෙඩ වෙනවා. එවිට රෝහල්ගත කරන්න වෙනවා. මෙහෙම බැලුවාම පවුලටත්, රටටත් දරන්න සිදුවන පිරිවැය අධිකයි.

අපි දන්නවා දුම්බීම අහිතකරයි කියලා. දුම්බීමෙන් ඇතිවන සෞඛ්‍ය හානි අපි දන්නවා. දැන් මේ ගැන දැනුවත් නිසා අපට දුම්පානය කරන පුද්ගලයෙක් ළඟ ඉන්නත් අප්‍රියයි. දුම්පානය කරන කෙනෙකුට වැල‍ඳෙන රෝග අවදානම ගැන බැලුවොත් අපට පිටිකිරි බොන බබෙකුට දුම්බොන අයෙකුට පවතින රෝග අවදානමට වඩා වැඩි අවදානමක් පවතින බව තහවුරු වී තිබෙනවා.
දුම්වැටි 20ක් බොන පුද්ගලයෙකුට පෙණහලු ආබාධ ඇතිවීම සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා තුන්ගුණයක් වැඩියි. පිටිකිරි බොන බබෙකුට පෙණහලු ආබාධ ඇති වීමට ඇති අවදානම 17 ගුණයකින් වැඩියි. සිගරට් 20ක් බිව්වොත් බුද්ධි මට්ටම 7.5ක් අඩු වෙනවා. පිටිකිරිවලින් බුද්ධි මට්ටම 7  සිට 10 දක්වා අඩු වෙනවා. ඇදුම හැදෙන එක සිගරට් බොන කෙනෙකුගේ 1.5 ගුණයක් ඉහළයි. පිටිකිරි බොන කෙනෙකුගේ මෙම ප්‍රතිශතය 1.7 ගුණයක්. මේ වගේ සංසන්දනය කළොත් සිගරට් බොනවාට වඩා සෞඛ්‍ය හානියක් පිටිකිරිවලින් සිදුවන බව පෙනී යන්නක්. අපි ලස්සන පෙට්ටිවල හෝ බෝතල්වල හෝ ටින්වල ඇසුරුම් කළ කිරි වර්ග මිලදී ගෙන දරුවන්ට දුන්නත් මේවායේ අහිතකර ක්‍ෂුද්‍ර ජීවීන් අඩංගුයි. ළමයින්ගේ ජීවිත පවා අහිමි වී තිබෙනවා. මොළයේ උණ හැදිලා ඇමෙරිකාවේ ළමයින් මැරිලා තිබෙනවා පිටිකිරි නිසා. ළමයාගේ ප්‍රතිශක්තිය හොඳයි නම් ළමයා පිටිකිරිවලින් හැදෙන රෝගවලින් වැළකෙයි කියලා යමෙක් හිතනවා නම් හරියට ඒක ළමයා ඉන්න කාමරේට විෂ සතුන් ගෙනත් දාලා ළමයට වාසනාව තිබෙනවා නම් ජීවිතේ බේරෙයි කියලා හිතනවා වගේ වැඩක් කළා හා සමානයි. 2008 දී චීනයේ ළමයින් වකුගඩු රෝගයකින් මැරුණා පිටිකිරි නිසා. පිටිකිරිවල අඩංගු ප්‍රෝටීන් ප්‍රමාණ වැඩි කරන්න යෙදූ මෙලමීන් කියන ද්‍රව්‍ය නිසා එහෙම වුණා. අපි හිතනවා නම් පිටිකිරිවල ප්‍රෝටීන් වැඩියි ඒ නිසා හරිම හොඳයි කියලා එය වැරදියි. ඒ වගේම කියන්න ඕන පිටිකිරිවල පළිබෝධ නාශක පවා අඩංගුයි. ඒ නිසා අපි පිටිකිරි නොදී ඉන්න වගබලා ගන්න ඕන. ඒ අනුව විෂබීජ පිටිකිරි හරහා ළමයාට විෂ ලබා දෙනවාද කියන එක මවුවරුන් හිතලා බලන්නට අවශ්‍යයි
Share This Article
Hiru Tv Blog
බඩ ඉදිරියට නෙරා ඒම විශේෂයෙන්ම පිරිමි ඔයාලට...
Hiru Tv Blog
ශ්‍රී ලංකාව ඝර්ම කලාපයට අයත් රටකි. මේ ඝර්ම...
Hiru Tv Blog
ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (STIs) සහ HIV සම්ප්‍රේෂණය...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ, පැණි රස කෑම ගැන, ඔබත් පැණිරස...
Hiru Tv Blog
කරවිල කිව්ව ගමන් ඉතින් අපිට මතක් වෙන්නේ...
Hiru Tv Blog
තරින්දි ප්‍රනාන්දු කියන්නෙ බොහෝම කෙටි කාලයකින් ප්‍රේක්ෂකයින් ට සමීප වුණු...
Hiru Tv Blog
යුරේනි අපි හැමෝම ආදරය කරන ජනප්‍රියම නිළියක්.ඇයට ප්‍රේක්ෂකයන්ගේ ආදරේ අඩුවක්...
Hiru Tv Blog
පාලිත තෙවරප්පෙරුම හැමෝම ආදරය කරපු චරිතයක්.ඒත් අවාසනාවන්ත විදියට විදුලි සැර...
Hiru Tv Blog
පූර්ණ සූර්යග්‍රහණයක මීළඟ අත්දැකීම විඳගැනීමට ශ්‍රී ලංකාවාසීන්ට හැකිවන්නේ...
Hiru Tv Blog
මේ වසරේ පළමු සූර්යග්‍රහණය ඊයේ(08) දිස්වුණ අයුරු මේ ආකාරයෙන් සටහන් වෙලා තිබුණා.....
Hiru Tv Blog
"යක්ෂයාගේ වල්ගා තරුව" හෙවත් 12P/පොන්ස්-බෲක්ස් යනුවෙන් හඳුන්වන වල්ගා තරුව වසර 71කට...

අසිරිමත් දළදාගමනය

දිවිතුරා

ලංවී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Hiru Tv Blog
Friday, 19 January 2024
Hiru Tv Blog 646 Views
Top