අභිරහස් බව නිසාවෙන්ම සංචාරක ආකර්ෂණය දිනාගත් ප්‍රදේශ මෙන්න...
ලොව පුරා දර්ශනීය වෙරළ තීර, දිය ඇලි, කඳුහෙල්, ගංගා යනාදිය සංචාරකයන්ගේ නොමඳ ආකර්ෂණයට ලක්වී ඇති බව අවිවාදිතය. නමුත් එසේ නොවන අද්භූත බවින් ගහන මරණයේ සෙවණැලි ගැවසී ගත් සමහර ප්‍රදේශද සංචාරකයන්ගේ අවධානය දිනා ගනිතියි ඇසුවහොත් ඔබ පුදුමයට පත්වනු ඇත. එවැනි ප්‍රදේශද ලොව පුරා පැතිර පවතී. අඳුරු, හුදකලා මේ ප්‍රදේශවල මියගිය අයගේ ආත්ම සැරිසරන බවද සඳහන් වේ. සමහර සංචාරකයන් මෙවැනි ප්‍රදේශවල සංචාරයට දක්වන්නේ බලවත් කැමැත්තකි.
ඇරිසෝනා ප්‍රදේශයේ නැඟෙනහිර ෆීනික්ස්හි කඳු පන්තියද මෙලෙස අඳුරු සෙවණැලිවලින් ගහණ ප්රදේශයකි. පුරාවෘත්තවලට අනුව එක්දාස්අටසිය ගණන්වලදී ජර්මනියේ සිට මෙම ප්‍රදේශයට ආ සංචාරකයකු මෙම කඳු අතර තිබී රන් ආකරයක් සොයාගෙන ඇත. නමුත් ඔහු මිය යනතුරුම මෙම ආකරය තිබෙන ස්ථානය ගැන රහස කිසිවකුට පවසා නැත. එදා මෙදාතුර කාලයේ මෙම ආකරය සෙවීමට බොහෝදෙනකු පිටත්ව ගිය මුත් කිසිවකුට එය සොයාගත නොහැකි විය. එම ප්‍රදේශයේ පවතින විශ්වාසයන්ට අනුව ආකරය සොයා පැමිණ ජීවිතය අහිමි වූවන්ගේ ආත්ම තවමත් එම කඳුපන්ති අතර සැරිසරන බව කියැවේ. එසේම එම රන් ආකරය ආරක්ෂා කරන කුඩා ජීවීන් සමූහයක් කඳු පාමුල ජීවත් වන බවද කියැවේ. සමහරුන්ගේ විශ්වාසය අපායේ ෙදාරටුව ඇත්තේ මේ කඳු යටින් බවයි.
ඔකිගහාරා නම් සියදිවි නසා ගන්නා වනාන්තරය පිහිටා ඇත්තේ ජපානයේ ෆීජි කඳු ආශි‍්‍රතවය. මෙම ප්‍රදේශය "වන මුහුද" යන නමින්ද හඳුන්වන අතර ලොව දෙවැනියට වැඩිම සියදිවි නසා ගැනීම් සිදුවන්නේ මෙම ප්‍රදේශයේ බව සඳහන් වේ. වසරකට 100 දෙනකු පමණ මෙම ප්‍රදේශයේ සිය දිවි නසා ගන්නා බව දැක්වේ. වනය පුරා තැන තැන සියදිවි නසා ගැනීම්වලින් පුද්ගලයන් වැළැක්වීමට පෙලඹවීම් කරන පුවරු සවිකර තිබෙනු දැකිය හැකිය. මෙම වනය ඉතා අඳුරු අතර දහවල පවා රාත්‍රිය මෙන් දිස්වන බව සඳහන්ය. මෙහිදී සියදිවි නසා ගන්නා පුද්ගලයන්ගේ අවමංගල්‍ය චාරිත්‍ර නිසි ලෙස නොකිරීමේ හේතුව මත එම මියගිය පුද්ගලයන්ගේ ආත්ම මේ වනය පුරා සැරිසරන බවට විශ්වාසයක් ඇත. මේ නිසාම මේ ප්‍රදේශය සංචාරය කිරීමට බියජනක ස්ථානයක් බවට පත්ව තිබේ.
ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ජටින්ගා නමැති ගම්මානයද ලොව අද්භූත ස්ථානයක් ලෙස පිළිගැනේ. මෙම ස්ථානය අද්භූතජනක වන්නේ සිය දහස් ගණන් ඉන්දියානු පක්ෂින් හා සංචාරක පක්ෂීන් මෙම ස්ථානයට පැමිණ සියදිවි නසා ගන්නා නිසාය. විවිධ වර්ගවලට අයත් විවිධ ප්‍රදේශවලින් පැමිණි පක්ෂීන් මෙසේ එකම ස්ථානයකට පැමිණ සිය දිවි නසා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය කරගැනීමට කිසිවකු සමත්ව නැත. කෙසේ නමුත් මෙම ස්ථානය යම් අදෘශ්‍යමාන බලවේගයක් ක්‍රියාත්මක වන තැනක ලෙස සැලකේ. බොහෝ සංචාරකයන්ද මෙම ස්ථානය නැරඹීමට පැමිණෙති.
ලුසියානා ප්‍රදේශයේ මැන්චැක් ස්වැම්ප් ප්‍රදේශය බොහෝ බියජනක තැනක් බව සඳහන් වේ. පුරාවෘත්තවලට අනුව වූඩු මායාකාරියක් මේ ප්‍රදේශයේ ජීවත් වී ඇත. ඇය තමාගේ මරණය සිදුවන දිනය ගැන අනාවැකි පැවසූ අතර එදින තවත් බොහෝ දෙනාගේ මරණයද සිදුවීමට යන බව පැවැසුවාය. ඇගේ අනාවැකිය සනාථ කරමින් ඇගේ අවමංගල දිනයේදී විශාල සුළිසුළඟක් පැමිණ බොහෝ දෙනාට ජීවිත අහිමි වී තිබේ. බොහෝදෙනා පවසන්නේ එහි යන අයට තවම මායාකාරිය තම මරණය ගැන ගැයූ ගීය අසන්නට ලැබෙන බවයි. මෙය එහි සංචාරය කරන්නන් භීතියෙන් මුසපත් කිරීමට සමත් වී ඇත.
ටෙක්සිකෝවේ පිහිටි බෝනික්කන්ගේ දූපත අවතාර විසින් අරක්ගත් ප්‍රදේශයක් ලෙස වාර්තා වී ඇති අතර එය සංචාරකයන්ගේ නොමඳ ආකර්ෂණය දිනාගෙන ඇත. වර්ෂ 1950 දී මෙම දූපතේ සිටි ජුලියන් බරේරා නම් පුද්ගලයාට ගංගාවක ගසාගෙන ආ කුඩා ගැහැනු ළමයකුගේ මළ සිරුරක් හමුවී ඇත. ඊට ටික වෙලාවකට පසු එම ස්ථානයටම බෝනික්කකු ගසාගෙන පැමිණ ඇත. ජුලියන් මේ බෝනික්කා අසල ගසක එල්ලා ඇත. එදිනට පසු ඔහු බොහෝ බෝනික්කන් ගෙනවුත් දූපත වටා ගස්වල එල්ලා ඇත්තේ මියගිය ගැහැනු ළමයාගේ ආත්මය සුවපත් කිරීම පිණිසය. ඉන් වසර ගණනාවකට පසු ජුලියන්ගේ මළ සිරුරද එම ගඟේ ගසාගෙන යද්දී සොයාගන්නා ලදී. ඒ වනවිට කුඩා දූපත බෝනික්කන්ගෙන් පිරී තිබිණි. මේ ප්‍රදේශය සංචාරකයන්ගේද ආකර්ෂණයට ලක්වූ අතර පැමිණෙන සංචාරකයන්ද බෝනික්කන් ගස්වල එල්ලීම පුරුද්දක් කරගත්හ. මෙම දූපතේ තවමත් මියගිය කුඩා ගැහැනු ළමයාගේ ආත්මය සැරිසරන බව පැවැසේ. ලොව පුරා තිබෙන මෙවැනි අද්භූත ජනක ස්ථාන පිළිබඳ කතා සැබැවින්ම විශිෂ්ටජනකය. කොතෙක් පුදුම සහගත වුවද එවැනි ස්ථාන මේ මිහිපිට මත සැබෑවටම තවමත් ජීවමානය.
සටහන_එල්. ජයසේකර
(උපුටා ගැනීම මව්බිම පුවත්පතින්)