නිවසේ සිට නිරෝධායනයවීම යනු කුමක්ද...? - නොදන්නවා නම් දැනගමු
Tuesday, 17 March 2020 - 20:43 | Views - 2,836
නම් කරන ලද රටවල් ගණනාවකින් පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට දින 14ක කාලයක් නිවසේ සිට නිරෝධායනය වන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය
උපදෙස් ලබා දී තිබුණා.
නිවසේ සිට නිරෝධායනයවීම යනු කුමක්ද..?
‘‘නිවසේ සිට නිරෝධායනය“ යන සංකල්පය යටතේ සිදු කෙරෙන්නේ පෙනුමෙන් සෞඛ්‍ය සම්පන්න, එහෙත් අවදානම් සහිත තැනැත්තෙකු සෞඛ්‍ය සේවා සපයනු නොලබන ව්‍යූහයක් යටතේ වෙන් කර තැබීමයි. නිවසේ සිට නිරෝධායනයේදී අනුගමනය කළයුතු ප්‍රධාන කරුණු 10ක් තිබෙනවා. එනම්, විදේශ ගතව සිට පැමිණි පුද්ගලයා යහපත් වාතාශ්‍රයක් සහිත වෙනම කාමරයක පවුලේ සෙසු සාමාජිකයින්ගෙන් වෙන්ව සිටීම. පවුලේ ඕනෑම සාමාජිකයෙකු සමඟ ගනුදෙනු කිරීමේදී අවම මට්ටමින් මීටරයක පරතරයක් පවත්වා ගැනීම. නිරන්තරයෙන් සබන් යොදා තත්පර 20ක් පමණ දෑත් සේදීම. පිරිසිදු නොකළ දෑතින් ඇස්, නාසය සහ මුඛය නොඇල්ලීම. නිරෝධායනයට ලක්වන පුද්ගලයා වෙනුවෙන් වෙන් කර ලද පිඟන්, කෝප්ප, ඇඳ ඇතිරිලි පවත්වාගෙන යාම සහ එවැනි දෑ සබන් යොදා නිසි ලෙස සෝදා පිරිසිදු කර ගැනීම. නිවසේ සිටියදීම දිනකට දෙවරක් ශරීර උෂ්ණත්වය පරීක්ෂා කර බැලීම යන කරුණු ප්‍රධාන වනවා.
ඊට අමතරව ශරීර උෂ්ණත්වය පරීක්ෂා කරන අවස්ථාවලදී උණ තත්ත්වයක් හඳුනා ගන්නේ නම් සහ කැස්ස, ශ්වසන අපහසුතා වැනි රෝග ලක්ෂණ පවතී නම් වහාම ප්‍රදේශයේ සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කිරීම.
නිරෝධායනයට ලක්වන පුද්ගලයා වෙනුවෙන් භාවිත කිරීම සඳහා වෙනම වැසිකිලි පහසුකම් නොමැති අවස්ථාවලදී පවුලේ සෙසු සාමාජිකයින් වැසිකිලි භාවිතයට පෙර ජල කරාම ආදිය සබන් යොදා පිරිසිදු කර ගැනීම. නිරෝධායනයට ලක්වන පුද්ගලයා හැකි තරම් අමුත්තන් හමුවීමෙන් වැළකී සිටීම සහ අමුත්තන් හා කතා බහ කිරීමෙන් වැළකීම. නිරෝධායනයට ලක්වන තැනැත්තා භාවිත කරන මුහුණු ආවරණ, අත්වැසුම් ආදිය නිසි පරිදි බැහැර කර ආවරණය කරන ලද බඳුන්වලට බහාලීම යන කරුණු ද ස්වයං නිරෝධායනයේදී අනුගමනය කළයුතු කරුණු ලෙස වසංගත රෝග විද්‍යා ඒකකය පෙන්වා දෙනවා.
Share This Article