රත්නපුර සිසුවා ගැට ගැසූ සිද්ධිය සම්බන්ධයෙන් පාසලෙන් පරීක්ෂාවක්
Tuesday, 25 February 2020 - 11:40 | Views - 1,463
රත්නපුර, ගොඩවෙල කන්‍යාරාමයට (කොන්වන්ට් ජාතික පාසලට) පිවිසෙන මාර්ගයේ කණුවක ගැට ගසා සිටි රත්නපුර ජනප්‍රිය පාසලක සිසුවෙකු පිළිබඳ සමාජ මාධ්‍යවල පළ වූ වීඩියෝව සම්බන්ධයෙන් එම පාසල විසින් අදාළ සිසුවාගේ දෙමාපියන් ගෙන්වා අද(25) මුලික පරීක්ෂණයක් පවත්වා තිබෙන බව දැනගන්නට තිබෙනවා.
අදාළ වීඩියෝව පෙරේදා(23) සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණා.එම ස්ථානයේ සිටි පුද්ගලයෙකුද මෙම සිද්ධියට මැදි වී කළ ප්‍රකාශයක් ද එම වීඩියෝවේ දක්නට ලැබුණා .
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප රත්නපුර පොලිසියෙන් කළ විමසීමකදී ඔවුන් ප්‍රකාශ කළේ අදාළ සිසුවාගේ උපන්දින වෙනුවෙන් ඔහුව හාස්‍යට ලක්කිරීම සඳහා ඔහුගේ මිතුරන් පිරිසක් මෙම ක්‍රියාව කර ඇති බවයි.
මේ සම්බන්ධයෙන් රත්නපුර පොලිසියට කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැති බවද පොලිසිය ප්‍රකාශ කළා.
නමුත් මෙම සිද්ධියෙන්, සිසුවාගේ ඇතැම් ස්ථාන තුවාල වීම හේතුවෙන් දරුවා රත්නපුර රෝහලෙන් ප්‍රතිකාර ලබා ඇති බවයි පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
මෙවැනි සිදුවීම් රත්නපුර ප්‍රදේශයේ රැල්ලක් ලෙස පවතින බවද රත්නපුර නගරවාසියෙකු කියා සිටියා.
මෙම සිසුවා රත්නපුර සීවලි විදුහලේ ඉගෙන ගන්නා බව එම වීඩියෝවේ කියවෙන නිසා එහි විදුහල්පතිවරයාගෙන අප මේ ගැන විමසුවා. විදුහල්පති කමල් ආරියසිංහ පැවසුවේ මෙය පාසලේ සිදුවූවක් හෝ පාසලේ අනුදැනුම මත වුවක් නොවන බවයි.
එහෙත් අදාළ සමාජ මාධ්‍ය වීඩියෝවේ පාසලේ නම සඳහන් වන නිසා එම සිසුවාගේ දෙමාපියන් කැඳවා ඒ ගැන විමර්ශනයක් කිරීමට කටයුතු කළ බවද ඔහු කියා සිටියා.
එහිදී දෙමාපියන් පවසා ඇත්තේ මෙම උපන් දින සැමරුමට සිසුවා තම දැනුවත්භාවය මත සහභාගී වී ඇති බවයි. කෙසේ වෙතත් උපන් දිනයක් මෙයාකාරයට සැමරීම අනුමත කළ නොහැකි බවද විදුහල්පතිවරයා සඳහන් කළා.
එහෙත් පාසල් සිසුවෙකුගේ මෙවැනි වීඩියෝවක් සමාජ මාධ්‍යට මුදා හැරීමේදී මිට වඩා ආචාර ධර්ම ගැන සැලකිලිමත් විය යුතු බවද අඩු ගන්නේ විදුහල්පතිගෙන් විමසීමට හෝ තිබු බවද ඔහු පැවසුවා.
කීර්තිමත් පාසලක් වන රත්නපුර සීවලී විදුහලට පාසලෙන් පිට සිදු වූ සිසුවෙකුගේ ක්‍රියාවක් අගෞරවයක් වන්නේ නම් ඒ ගැන සමාජ මාධ්‍ය වෙත මෙවැනි දේ මුදා හරින්නන් සැලකිලිමත් විය යුතු බවද ඔහු ප්‍රකාශ කළා.
Share This Article