සීමා වැටිලා නැහැම කියන්නත් බැහැ. ඕනෑම කාන්තාවකට පාලනයක් තියෙන්න ඕන
චිත්‍රපටයක් බලද්දී වුණත් දුක් සීන් තිබ්බොත් ඇඬෙනවා...
මම දඟකාර විදිහට හිටියට හිත ඇතුළෙත් හරිම සංවේදී කෙනෙක්..
කවුරු හරි එහෙම කතා නොකර ඉන්නවා නම් මට හරි අවුල්..
ධනංජි තාරුකා ජනප්‍රිය රංගන ශිල්පිනියන් අතර සිටින කටකාර, හැඩකාර රංගන ශිල්පිනියක්. ඇය පසුගිය වසරේ පෙම්වතුන්ගේ දිනය දා තම පෙම්වතාගේ අත ගත්තේ කවුරුත් නොහිතපු මොහොතක. මෙදා පෙම්වතුන්ගේ දිනයට ඇගේ විවාහ ජීවිතයේ පළමු වසර සම්පූර්ණ වෙනවා. හැමදාමත් කලා ලෝකේ ආදරේ දිනාගත් ධනංජි තාරුකාගේ නවතම තොරතුරුයි මේ...
ධනංජි මේ දවස්වල කාර්යබහුලද?
ටිකක් විතර කාර්යබහුලයි. ටෙලි නාට්‍ය කිහිපයක රූගත කිරීම් නිම වුණා. නමුත් තව ටෙලි නාට්‍ය කිහිපයක වැඩ කළා. ඒ නාට්‍ය විකාශය වෙන්න තියෙනවා. ඒ වැඩත් එක්ක තමයි කාර්යබහුල වෙලා ඉන්නේ.
අපි ධනංජිව පිටතින් දකින්නෙත් කටකාර, දඟකාර චරිතයක් විදිහටනේ. ධනංජි ඇතුළතින් කොයි වගේ කෙනෙක්ද?
මම කටකාර, දඟකාර විදිහට හිටියට හිත ඇතුළෙත් හරිම සංවේදී කෙනෙක්. මට චිත්‍රපටයක් බලද්දී වුණත් දුක් සීන් තිබ්බොත් ඇඬෙනවා. මම ගුප්ත චරිතයක් නෙමෙයි. දුක හිතුණොත් මම අඬනවා. කවුරුහරි මාත් එක්ක කතා නොකර ඉන්නවා නම් මම එයාගෙන් අහනවා මාත් එක්ක මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා. මොකද කවුරු හරි එහෙම කතා නොකර ඉන්නවා නම් මට හරි අවුල්. මම ඒ තරම් සංවේදීයි.
දැන් ධනංජිගෙයි ෂැගීගෙයි විවාහ ජීවිතයට වසරකුත් සම්පූර්ණයි නේද?
ඔව්. මේ පෙබරවාරි 14 වැනිදාට අපි විවාහ වෙලා වසරක් වුණා.
තවම නම් ප්‍රශ්න ගොඩක හිරවෙලා නෑ. සැහැල්ලුවෙන් ජීවිතය ගෙවනවා. හැබැයි තනිකඩ ජීවිතයට වඩා වගකීම් වැඩියි. ඉස්සර ඉතිං උදේට රූගත කිරීම්වලට යද්දී නැඟිට්ටා ලෑස්ති වුණා ගියානේ. දැන් ඉතිං එහෙම බෑනේ. දැන් උයලා, පිහලා ඒ දේවල් කරන්න වෙනවා. විවාහ ජීවිතයක ඒ වගේ එකිනෙකා වෙනුවෙන් කැප කිරීම් තියෙනවා. ඒ දේවල් එක්ක අපි ජීවත් වෙනවා.
විවාහයත් එක්ක ධනංජිට සීමා වැටිලා තියෙනවාද?
එහෙම ලොකු සීමා වැටිලා නැහැ. නමුත් සීමා වැටිලා නැහැම කියන්නත් බැහැ. විවාහ ජීවිතයකට ආවම අපිම යම් යම් සීමා හදාගන්නවා. ඒක නිළියකට විතරක් වෙන දෙයක් නෙමෙයි. ඕනෑම කාන්තාවකට පාලනයක් තියෙන්න ඕන. මම ගෙදරින් පිට ඉන්න වෙන වැඩ භාරගන්නවා අඩුයි. නමුත් හොඳ අවස්ථාවක් නම් සැමියාගෙනුත් අහලා කතාබහ කරගෙන ඒ දේවල් කරනවා.
ධනංජි රංගනයේ දිගටම රැඳෙයිද?
රංගනයේ දිගටම රැඳෙන්න කැමැතියි. නමුත් දරුවෙක් ලැබුණු කාලයක රංගනයෙන් ටිකක් ඈත්වෙලා ඉන්න වෙයි. හැබැයි රංගනයෙන් හැමදාටම අයින් වෙන්න අදහසක් නෑ.
එතකොට ධනංජි මවක් වෙන හීනය දැන්මම හැබෑ කර ගනියිද?
තවම නම් ඒ ගැන හිතලා නැහැ. වෙලාව ආවම කෙනෙක් අපේ ජීවිතයට එයි.
ධනංජි වැඩිපුරම දකින්නේ පුංචි තිරයේ. සිනමාවේ ආරාධනා අඩුයිද?
මම සම්බන්ධ වුණු 'සීමා නෑ ආකාසේ' සහ 'වැලි පවුරු' කියන චිත්‍රපට දෙක තිරගත වුණා. නිහඬ සෙවණැලි" චිත්‍රපටය තිරගත වෙන්න තියෙනවා. තව චිත්‍රපටයකට ආරාධනා ලැබුණත් දින ප්‍රශ්නයක් නිසා එය භාරගන්න බැරි වුණා. කරපු චිත්‍රපටයකුත් තව රූගත කිරීම් කරන්න තියෙද්දී නැවතිලා තියෙනවා.
සමහර රංගන ශිල්පිනියන් බලාපොරොත්තු වෙන්නේ ප්‍රධාන චරිත විතරයි. හැබැයි ධනංජි උප ප්‍රධාන චරිතවල තමයි වැඩිපුර පේන්න ඉන්නේ. ඇයි ඒ?
කෙනෙක්ව ප්‍රධාන චරිතවලට ගත්තම ඒ කෙනාව දිගටම ප්‍රධාන චරිතවලින් දකින්න ලැබෙනවා. ඒ කෙනා වෙන චරිතයක් කරන්න ගියොත් සමහර අධ්යක්ෂවරු නැවැත ඒ කෙනාව ප්‍රධාන චරිතයකට ගන්නේ නෑ. සමහර වෙලාවට පිටපතට ඕන වුණත් උප ප්‍රධාන චරිත කරපු කෙනෙක් ප්‍රධාන චරිතවලට ගන්නෙත් නෑ. අධ්යක්ෂවරු හිතනවා උප ප්‍රධාන චරිත කරන කෙනා ප්‍රධාන චරිතයකට ගත්තොත් චැනල්වලට දෙන්න බැරි වෙයි කියලා. මම උප ප්‍රධාන චරිත කළත් ඒ චරිත ජනප්‍රිය වෙලා තියෙනවා. ප්‍රධාන නළුවා, නිළිය කවුරු වුණත් ඒ චරිත සාර්ථක වෙන්න අනෙක් ශිල්පීන්ගේ සහායත් වැදගත් වෙනවා.
ධනංජි දැන් ක්ෂේත්රයට ඇවිත් කාලයක්. හැබැයි තාමත් ජනප්‍රිය සම්මානය ලබන්න බැරිවුණා. ජනප්‍රිය සම්මානය ලැබුණේ නෑ කියන්නේ ඔබ ජනප්‍රිය නෑ කියන එකද?
කෙනකුට ජනප්‍රිය නළුවා, නිළිය සම්මාන ලැබෙන එකේ වරදක් මම දකින්නේ නෑ. ජනප්‍රිය නිළිය, නළුවා බවට ඒ අයව ගේන්න ඒ නිර්මාණවලට දායක වෙන සියලු දෙනා උදවු කරනවා. ගොඩක් වෙලාවට අහිංසක චරිතවලට තමයි ජනප්‍රිය නිළි සම්මානය ලැබෙන්නේ. ලස්සන, දක්ෂතාව, වාසනාව ජනප්‍රියත්වය වෙනුවෙන් තියෙන්න ඕන. ජනප්‍රිය සම්මානය නොලැබුණාට ප්‍රේක්ෂක ආදරය මට නොඅඩුව ලැබෙනවා. ජනප්‍රිය සම්මානයටත් වඩා හොඳම සහාය නිළිය, හොඳම නිළිය වගේ සම්මානයක් ගන්න තැනට මම වැඩ කරන්න කැමැතියි. ජනප්‍රිය සම්මානයක් වුණත් ලැබුණොත් කැමැත්තෙන් භාරගන්නවා.