තවත් හිතේ තියෙනවා ලොකු හීනයක් හැබෑ කරගන්න....
මටත් රිදි තිරයේ පායන්න වාසනාව ලැබුණා.. ඒ ගැන සතුටුයි..
නවක රංගන ශිල්පිනියන් අතර සිටින දක්ෂ, රුවැති රංගන ශිල්පිනියක ලෙස කාවින්ද්‍යා දුල්ෂානි හැඳින්විය හැකියි. හිරු ටීවී ඔස්සේ විකාශනය වුණු සිද්ධාර්ථ ගෞතම හා තවත් නාට්‍ය කිහිපයකින් පුංචි තිරයෙන් නිවෙසට ගොඩ වදින ඇය අනාගතයේ දක්ෂතම රංගන ශිල්පිනිය වන්නට පෙරුම් පුරනවා. මේ ඇය ගැනයි....
හොඳයි. මගේ පළමු චිත්‍රපට රංගනය ප්‍රේක්ෂකයාට නරඹන්න හැකි වන තුරු ගැන බොහොම බලාපොරොත්තු සහගතව ඉන්නවා.
කාවින්ද්‍යාට දෙවරක්ම ‘යශෝධරා‘ට පණ පොවන්න ලැබීමත් අහම්බයක් නේද?
එක් යශෝධරාවක් ලෝකයේ උතුම් කාන්තාව ලෙසයි හැඳින්වෙන්නේ. ‘සිද්ධාර්ථ ගෞතම‘ ටෙලි නිර්මාණයේ ඒ යශෝධරාට පණ පොවන්න ලැබීම මා ලද භාග්‍යයක්. අනෙක් යශෝධරා බොහොම ගැමි පරිසරයක හැදී වැඩෙන තරුණියක්. ඇයත් ඉදිරියේදී ප්‍රේක්ෂකයාට සමීප වේවි.
රිදි තිරයට පායන ඒ යශෝධරාට පණ පොවන්න අවස්ථාව ලැබුණේ කොහොමද?
එහි අධ්යක්ෂවරයාගේ ආරාධනය මතයි මම චිත්‍රපටයට සම්බන්ධ වෙන්නේ. ඔහු ටෙලි නාට්‍යවලින් දැකලා මට කතා කළේ ඒ චරිතයට මම ගැළපේවී කියලා හිතුණු නිසා වෙන්න ඇති. ඒ චරිතේ ඒ වයස, චරිත ස්වභාවය, ඇගේ ආදරය හිතන පතන විදිහ මට හරි සමීපයි.
රිදි තිරයේ පළමු රංගනය ඔබට අභියෝගයක් වුණේ නැද්ද?
ටෙලි නාට්‍යවලට වඩා සිනමාව හාත්පසින්ම වෙනස් නිසා එය මට ලොකු අභියෝගයක් වුණා. පළමු දර්ශනයට මං පෙනි හිටියෙත් ලොකු බයකින්. නමුත් ඒ බය අක්ෂවරයාගෙන්, කැමරා කළ කපිල අයියා, ශ්‍රියන්ත මෙන්ඩිස්, දිල්හානි ඒකනායක වැනි ප්රවීණයන්ගේ ලැබුණු සහාය සහ උපදෙස් එක්ක ටික දවසකින් ඉබේම නැති වෙලා ගියා.
මේ යශෝධරා ප්‍රේක්ෂකයන්ට සමීප වේවිද?
තවම එක්තරා පිරිසකට පමණයි මේ චිත්‍රපටය පෙන්නුවේ. ඒ නරඹපු පිරිසගෙන් නම් හොඳ ප්‍රතිචාරය තිබුණා. ඒ ලැබෙන ප්‍රතිචාර එක්ක මම හිතනවා මේ යශෝධරාටත් ප්රේක්ෂකයන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබේවි කියලා.
කාවින්ද්‍යා වඩා කැමැති සිනමාවට වගේ?
ඔව්. මම වඩාත් කැමැති සිනමාවට තමයි. හොඳ නිර්මාණ ඔස්සේ සිනමාවේ දිගටම රැඳෙන්න මම කැමැතියි. මේ දිනවල තව චිත්‍රපටයකත් රූගත කිරීම් සිදු කරමින් යනවා.
පළමු සිනමා රංගනයේ දී ප්‍රධාන භූමිකාවට පණ පොවන්න ලැබීමත් වාසනාවක්?
ඇත්තටම මම වාසනාවන්තයි. රංගනයට පිවිසෙන හැමෝගේම වගේ හීනයක් තමයි සිනමාවට පිවිසීම. මමත් එහෙම හීන මැව්වා. මගේ හීනේ හැබෑ වුණා. මටත් රිදි තිරයේ පායන්න වාසනාව ලැබුණා... ඒ ගැන ගොඩක් සතුටුයි.
රංගනය දැන් ඔබේ වෘත්තිය වෙලාද?
මමවත් නොදැන දැන් එය මගේ වෘත්තීය වෙලා. මේ වෙනකොට ඉගෙන ගන්න දේට අමතරව මම කරන්නේ රඟපෑම විතරයි. වෙන දෙයක් කරන්න වෙලාවක් නැහැ
ඒ ඔබේ කැමැත්ත වුණේ නීතිවේදිනියක් වෙන්න?
සාමාන්‍ය පෙළ කරන තුරු මගේ එහෙම කැමැත්තක් තිබුණා. මගේ අම්මත් ඒ පැත්තට සම්බන්ධ නිසා පොඩි කාලේ ඉඳන් මමත් නීතිවේදිනියක් වෙනවා කියන අදහස ඔළුවේ තිබුණා. නමුත් දැන් ඒ අදහස ඔළුවෙන් ඉවත් වෙලා. දැන් මං උපාධියට හදාරන්නේ ව්‍යාපාර කළමනාකරණය. මගේ ඔළුවේ තිබුණු අදහසට වඩා හාත්පසින් වෙනස් දෙයක්.
ඉදිරියේදී කාවින්ද්‍යා වෙනත් වෘත්තීයක නියැළේවිද?
මට මගේම ව්‍යාපාරයක් කරන්න අදහසක් තිබෙනවා. ව්‍යාපාර අධ්‍යයනය සම්බන්ධව ඉගෙන ගන්නෙත් ඒ අරමුණෙන්. ඒ මොන දේ කළත් රංගනයෙන් නම් ඈත් වෙන්නේ නැහැ.
අක්කාගේ රඟපෑම් බලලා නංගිලත් රඟපාන්න ඕනේ කියන්නේ නැද්ද?
චූටිම නංගිට තවම අවුරුදු 8 විතර. ඇය නම් හරිම කැමැතියි කලාවට, රංගනයට. හැබැයි අම්මාගෙන් නම් ඒකට අවස්ථාවක් නැහැ. අනෙක් නංගිලා දෙන්නගෙ එහෙම කැමැත්තක් නැහැ.
ඔබ රංගනයට පිවිසෙන්නෙත් මවුපියන්ගේ අකැමැත්තෙන් ද?
ඔව්. ගොඩක්ම අකැමැති වුණේ තාත්තා. ඒත් දැන් තාත්තා තමයි මම රඟපානවට වැඩියම කැමැතියි.
එහෙනම් මේ කාවින්ද්‍යාගේ හිතු මතේට ආ ගමනක්?
අම්මගෙත් පොඩි සහයක් ඇතුව හිතුමතේට ආ ගමනක් තමයි.
ඇත්තද මේ කාවින්ද්‍යා කුකුල් කේන්තිකාරියක් කියන්නේ?
තරහා ගත යුතු සාධාරණ හේතුවලට තරහා යනවා. එහෙම තරහා ගිහින් මටම පාඩු වුණු අවස්ථා තියෙනවා.
මගේ උපාධිය සාර්ථකව අවසන් කරන්න ඕනේ. තවත් හිතේ තියෙනවා ලොකු හීනයක් හැබෑ කරගන්න.
ලංකාවේ දක්ෂම කියන කාණ්ඩයේ සිනමා නිළියක් වීමේ හීනය.