ඔබත් මාසයකට කිලෝ ගණනින් බර අඩු කරන්න හිතුවාද?
Friday, 06 December 2019 - 14:25 | Views - 899
කායවර්ධනය සඳහා මෙන්ම ක්‍රීඩකයන් තමන්ගේ ශරීර ශක්තිය පවත්වා ගැනීම සඳහා ව්‍යායාම් මධ්‍යස්ථාන වෙත යොමු වන්නේ යම් සේද වර්තමානයේ සෞඛ්‍ය සම්පන්න නිරෝගී දිවි පැවැත්මක් සඳහාද ව්‍යායාම් මධ්‍යස්ථාන කරා යොමුවීමට බොහෝ දෙනා හුරුව සිටිනවා.

මෙවර සුවතා පිටුව හරහා අවධානය යොමුකරනු ලබන්නේ තමන්ගේ දේහ ස්කන්ධය නැතහොත් බර අඩු කරගන්න ව්‍යායාම් මධ්‍යස්ථාන වෙත ගොස් ව්‍යායාම් කරන අතරතුර කෑම පාලනය කිරීම සම්බන්ධයෙන්. මානව පෝෂණවේදය පිළිබඳ මහාචාර්ය රේනුක සිල්වා මහතා හෙළිකරන මෙම තොරතුරු ඔබට වඩාත් ප්‍රයෝජනවත් වනු ඇති.

&නිරෝගිමත් සෞඛ සම්පන්න ජීවිතයක් ගත කිරීමට ව්‍යායාම්වල නිරත වීම සැබැවින්ම හොඳ පුරුද්දක්. Gym යන එක ඇතැමෙක් Trend එකට කරන දෙයක් වෙන්න පුළුවන්. තවත් කෙනෙක් බර අඩුකර ගන්න Gym යන්න පුළුවන්. ක්‍රීඩාමය හේතු සඳහා යොමුවන අයත් ඉන්නවා.

අපි Gym එකකට යද්දී එහි පුහුණුකරුවාට ව්‍යායාම් පිළිබඳ පුහුණුකමක් හෝ දැනුමක් ඇති බව අපි විශ්වාස කරනවා. නමුත් මේ සියලුදෙනාම පෝෂණය සම්බන්ධව විශේෂ දැනුමක් ඇති අය බවට අපට විශ්වාස කිරීමට අපහසුයි. ඒ වුණත් ඔවුන් පෝෂණය සම්බන්ධයෙන් Diet Plans ලබාදීම වගේ දේවල් සිදුකරනු ලබනවා. ඇතැමුන් මෙලෙස ලබාදෙන උපදෙස් නුසුදුසු මෙන්ම නොමග යවනසුලු ඒවා බව පෙනී යන්නේ බොහෝවිට ඒවා අනුගමනය කරන අය ප්‍රශ්න හා ගැටලුවලට මුහුණදුන් පසුවයි. මේ තත්ත්වයට හේතු වෙලා තියෙන්නේ Gym යන බොහෝ දෙනෙක් ඉක්මනින් බර අඩු කරගන්න උත්සහ දැරීමයි. ඉක්මනින් බර අඩු කරගන්න අවශ්‍යතාවක් ඇතිවන අය ඒ වෙනුවෙන් තමන්ට කියන ඕනෑම දෙයක් කරන්නට පෙලඹෙනවා. නමුත් විශේෂයෙන් මෙහිදී කියන්න ඕන බර අඩු කර ගැනීම යනු ඉක්මනින් කරන්න පුළුවන් දෙයක් නොවන බව. ඉක්මනින් බර අඩු කරන ක්‍රම තිබුණත් ඒවා අපේ ශරීර සෞඛ්‍යට නුසුදුසුයි. ක්ෂණිකව බර අඩුකර ගන්න යනවා කියන්නේ ශරීරයේ අභ්‍යන්තරයට අනිසි ප්‍රතිඵල ඇති වීමට හැකියාවක් තිබෙනවා. එසේ නම් නිවැරදි ලෙස බර අඩු වෙනවා කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව විමසා බැලිය යුතුයි.

යම් අයෙක් නිසි ක්‍රමවේදය අනුව තමන්ගේ බර අඩු කරගන්නවා නම් බර අඩු විය යුත්තේ ග්‍රෑම් 500ක් වැනි ප්‍රමාණයකින්. එසේනම් තමන්ගේ බර කිලෝ තුනක් අඩු කරගන්න උත්සහ කරන කෙනෙක් මාස 6ක් පමණ ව්‍යායාම්වල නිරත වීම සිදුකළ යුතුයි. එසේ නොමැතිව මාසයක් ඇතුළත දේහ බරින් 10%ක් අඩුකරනවා හෝ කිලෝ මෙපමණ ප්‍රමාණයක් අඩු කරනවා ආදී වශයෙන් යම් අයෙක් පොරොන්දු දෙනවා නම් එයින්ම ඔබ වටහාගත යුතුයි සිදුවන්නේ නියම ප්‍රමිතියට අනුව ක්‍රියාවලියක් නොවන බව. මෙහෙම පොරොන්දු දෙන ව්‍යායාම් මධ්‍යස්ථානයක් හෝ පුද්ගලයෙකු සිටීනම් සිදුකරනුයේ මුදල් උපයා ගැනීමේ ව්‍යාපාරයක් බව වටහා ගත යුතුයි.

මාසයකට ග්‍රෑම් 500ක් නැත්නම් කිලෝවකට අඩු ස්කන්ධයක් ලෙස නොවී කිලෝ ගණනින් බර අඩුකරන ක්‍රමවේදයන්වලදී නැවත දේහ බර වැඩිවීම සිදුවන්න පුළුවන්. මන්දයත් ක්ෂණිකව බර අඩු කරගැනීමට ලබාදෙන්නේ නිසි උපදෙස් නොවේ. එසේ නම් එලෙස ලබාදෙන වැරදි උපදෙස් මොනවාද යන්න පිළිබඳ මදක් අප විමසා බැලිය යුතුයි.

අධික ලෙස ආහාර සීමා කිරීම

මෙහිදී බොහෝවිට ලබාදෙන උපදෙස වන්නේ පිෂ්ටය සහිත ආහාර ගැනීමෙන් වළකින ලෙසයි. මෙහි යම් සත්‍යතාවක් පවතී. අපේ රටේ මිනිසුන් අධික ලෙස පිෂ්ටය අඩංගු ආහාර ගැනීමට පුරුදු වී සිටින අතර, මේවා ශරීරයේ මේදය ලෙස අවසානයේ තැන්පත් වේ. ඒ අනුව පැණිරස ආහාර, පිටි ආහාර පාලනය කිරීමට උපදෙස් දීම යෝග්‍ය වේ. නමුත් වැරැද්ද වන්නේ පිෂ්ටය අඩංගු ආහාර සීමා කිරීමට පමණක් උපදෙස් ලබාදීමයි. සිදුවිය යුත්තේ පිෂ්ටය අඩංගු ආහාර යම් ප්‍රමාණයකට සීමා කරන අතරතුර, ආහාරයට එකතු කළ යුතු එළවළු හා පලතුරු, මස් මාළු ප්‍රමාණයන් වැඩි කිරීමයි. එසේ නොමැතිව බඩගින්නේ සිටීම නම් සුදුසු නොවේ.

ප්‍රෝටීන අඩංගු ආහාර අධික ලෙස ගැනීමට උපදෙස් දීම

ප්‍රෝටීන අඩංගු ආහාර සාමාන්‍ය ප්‍රමාණයට වඩා ඔරොත්තු නොදෙන ප්‍රමාණවලින් ශරීරයට ලැබෙන ලෙස සකස් කළ ආහාර සැලසුම් ලබාදීම ඇතැමුන් විසින් සිදුකරනු ලබයි. බිත්තර 10ක් පමණ යොදා සකස් කළ ඔම්ලට් ආහාරයට ගැනීම ආදී උපදෙස් ලබාදීම සැබවින්ම අස්වාභාවික වේ. (මෙහිදී සඳහන් කරනුයේ ක්‍රීඩකයන්ට ප්‍රෝටීන බහුල ආහාර යෝජනා කිරීම නොව සාමාන්‍ය පුද්ගලයන්ට ලබාදෙන උපදෙස් පිළිබඳවය)
සාමාන්‍යයෙන් Gym එකකට ව්‍යායාම් කරන්න බර අඩු කර ගැනීමට යන කෙනෙකු වෙනදා ආහාරයට එකතු කරගත් ප්‍රෝටීන් ප්‍රමාණ දෙගුණ කරගැනීමේ අවශ්‍යතාවක් මතු නොවේ. නමුත් සතියකට බිත්තර 7ක් පමණ ආහාරයට ගැනීම ප්‍රමාණවත් වේ. මස් මාළු ආහාරයට ගැනීමේදී තෙල් කොටස් ඉවත් කර ග්‍රිල් කර ආහාරයට ගැනීම කොයි කාටත් සෞඛ්‍යාරක්ෂිත වේ.

ප්‍රෝටීන සහිත පෝෂණ අතිරේක

ප්‍රෝටීන බහුල ආහාර වැඩිපුර ආහාරයට ගන්නා ලෙස ලබාදෙන උපදෙස් අවසානයේ ප්‍රෝටීන සහිත පෝෂණ අතිරේක නිර්දේශ කිරීම දක්වා ගමන් කරනු දැකගත හැකියි. යම් පුද්ගලයෙක්ට පෝෂණ අතිරේකයක් නිර්දේශ කරන්නේ ශරීරයට අවශ්‍ය පෝෂකයන් ආහාරවලින් සපුරා ගන්නට නොහැකි තත්ත්වයක් ඇතිවූ විටදීයි. %Whey Protein^ අඩංගු පෝෂණ අතිරේක බොහෝවිට පෝෂණවේදීන් නිර්දේශ කරනු ලබන්නේ මලල ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩකයන්ටයි. ඔවුන්ට අවශ්‍ය ප්‍රෝටීන ප්‍රමාණයන් ඇතැම් විට ආහාරවලින් සපුරා ගැනීමට නොහැකි වීම හේතුවෙන් මෙලෙස නිර්දේශ කිරීමක් සිදුකළද ක්‍රීඩකයෙකු නොවන Gym යන සාමාන්‍ය පුද්ගලයෙකුට එවැනි පෝෂණ අතිරේක අවශ්‍ය වන්නේ නැහැ. එසේම මෙම පෝෂණ අතිරේකවල ප්‍රමිතිය සම්බන්ධයෙන් බොහෝ ගැටලු ඇති බව වටහා ගත යුතුයි. බොහෝ උපදේශකවරුන් මෙම නිෂ්පාදන නිර්දේශ කරනු ලබන්නේ වාණිජ අරමුණු සහිතව බව මතක තබා ගත යුතුයි. ලංකාවේ අලෙවි වන මෙම නිෂ්පාදනවල සංයුතිය පිළිබඳ ගැටලු පවතින අතර, ක්‍රීඩකයන් පවා මේවා භාවිතය හේතුවෙන් විවිධ රසායනිකයන් ශරීරගත වීම හේතුවෙන් ගැටලුවලට මුහුණ දේ. මෙරට ප්‍රසිද්ධ ක්‍රීඩකයන් කිහිපදෙනෙකුට තහනම් උත්තේජක භාවිතය සම්බන්ධ චෝදනා එල්ල වීමට හේතු වී තිබුණේද මෙවැනි පෝෂණ අතිරේකවල නීත්‍යානුකූල නොවන රසායන අඩංගුවී තිබීමයි. සාමාන්‍ය පුද්ගලයෙකුට තහනම් උත්තේජක චෝදනා එල්ල නොවෙන බැවින් මේවා භාවිත කිරීම ගැටලුවක් නොවේ යැයි සිතුණද ඒවා භාවිතයෙන් හෝමෝන ක්‍රියාකාරීත්වයේ වෙනස්කම් සිදුවිය හැකි බැවින් දිගුකාලීන සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැකිය. එසේම මෙම පෝෂණ අතිරේකවලට දරන අධික වියදම පිළිබඳ සැලකීමේදී එම මුදල්වලින් ඉතාම පෝෂණීය හා රසවත් ගුණවත් ආහාර ලබාගත හැකිය. එසේ නොමැතිව කෙටි ක්‍රමවලට යොමුවීම සුදුසු නොවේ. එසේම වෙනත් විටමින් අඩංගු පෝෂණ අතිරේක නිර්දේශ කිරීමද සිදුවේ. මේවා සම්බන්ධයෙන් පවතිනුයේ සමාන තත්ත්වයකි. පෝෂණ අතිරේකවලට යොමු නොවී ස්වාභාවිකව ආහාරවලින් අවශ්‍ය පෝෂණයන් ලබාගැනීමට යොමුවීම සිදුකළ යුතුය.

බර අඩුකරන විවිධ නිෂ්පාදන

මෙවැනි උපදෙස් මගින් කෙටිකාලීනව ක්ෂණික ප්‍රතිඵල අත්විඳින්නට හැකි නමුත් දිගුකාලීනව අත්විඳින්නට වනුයේ සෞඛ්‍ය ගැටලු හා පෝෂණ ගැටලු බව හඳුනාගත යුතුය.
මීළඟට බර අඩුකර ගැනීම සඳහා ක්ෂණික ක්‍රම ලෙස විවිධ නිෂ්පාදන වර්ග හඳුන්වා දිය හැකිය. මෙම නිෂ්පාදන වර්ග භාවිතයෙන් සැබැවින්ම අපගේ ශරීරයේ මේදය දහනය වීමක් සිදුවන්නේද යන්න සම්බන්ධයෙන් ගැටලුවක් පැනනගී. මන්දයත් ඇතැම් නිෂ්පාදන ( පෙති වර්ග)වලින් සිදුවනුයේ අපගේ ශරීරයේ පවතින ජලය මුත්‍රා මාර්ගයෙන් ඉවත් කිරීමය. පුද්ගලයෙකුගේ ශරීරයෙන් මෙලෙස ජලය ඉවත් වීම මගින්ද බර අඩු වීම සිදුවන අතර, ඉන් ශරීරය විජලනයට පත්වීම සිදුවී අභ්‍යන්තර ඉන්ද්‍රීයන්ට හානි සිදුවිය හැකිය. තවද මෙලෙස ලබාදෙන ඇතැම් නිෂ්පාදන ඖෂධ ගණයට ඇතුළත්ය.
මෙවැනි නිෂ්පාදන නිර්දේශ කළ හැක්කේ වෛද්‍යවරයෙකුට පමණි. නිසි දැනුමක් නොමැති පුද්ගලයෙකු මෙවැනි දෑ නිර්දේශ කිරීමෙන් ඇතිවන අතුරු ප්‍රතිඵල භයානක විය හැකිය.
එසේ නම් කළ යුතු වන්නේ කුමක්ද?

නිවැරදි ක්‍රමවේදය වන්නේ Gym එකකට යෑමට ප්‍රථමයෙන් රජයේ ලියාපදිංචිය ලත් වෛද්‍ය සභාවේ අනුමැතිය සහිත නිසි සුදුසුකම් ලත් පෝෂණවේදියෙකුගේ උපදෙස් පැතීමය. ඔවුන් මේ අනුව ඔබට ව්‍යායාම් සිදුකරන අතරතුර අනුගමනය කළ යුතු ආහාර රටාව පිළිබඳ නිර්දේශ ලබාදෙනු ඇත. විදේශයන්හි සිදුවනුයේ ව්‍යායාම් පුහුණුව ලබාදෙන පුහුණුකරුවා සමග වෛද්‍යවරයෙකු හා පෝෂණවේදියෙකු සම්බන්ධ වී කණ්ඩායමක් ලෙස උපදෙස් ලබාදීමය. නමුත් ඔබට පෝෂණවේදියෙකුගේ සහය ලබාගැනීමට නොහැකි අවස්ථාවක සිදුකළ යුත්තේ ඔබට Gym එකෙන් ලබාදුන් Diet Plan එක පිළිබඳව පවුලේ වෛද්‍යවරයෙකුගෙන් හෝ විමසා දැනගැනීමය.

නදීශානි පතිරණ

Share This Article
Hiru Tv Blog
කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ...
Hiru Tv Blog
නිවැරදි දෑත් සේදීම සහ මුඛ ආවරණ පැළදීම කෙරෝනා...
Hiru Tv Blog
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසයේ...
Hiru Tv Blog
කොරෝනා හේතුවෙන් ලොව පුරා ඇතිවෙලා තියෙන තත්ත්වය ගැන අපි ඔබට අමුතුවෙන් කියන්න...
Hiru Tv Blog
කුමාර් සංගක්කාර කියන්නේ ලංකාවේ සුපිරි ක්‍රීඩකයෙක් වගේම ලෝකයම දන්න හැමෝම ආදරය...
Hiru Tv Blog
Covid 19 මේ වෙද්දී ලෝකයක්ම කණපිට හරවලා. ලෝකයේ දන්න කියන හැම අහුමුල්ලකම රිංගගත්ත මේ...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Hiru Tv Blog
පසුගියදා පැවැති RightsCon නමැති ඩිජිටල් යුගයේ මානව හිමිකම් පිළිබඳ වූ සමුළුවේදී කතාබහට...
Top