සැමියාගේ වියෝවෙන් බොහොම පාළුවක්, තනිකමක්, දුකක් තියෙනවා- ඔහුගේ වියෝව දරා ගන්න බැරි වේදනාවක්
කලාව තුළ ඇගේ ගමන බොහොම හෙමින්ය.. නමුත් ස්ථාවරය.. ලැබෙන ඕනෑම චරිතයකින් මුහුණ පෙන්වනවා වෙනුවට ඇය එකිනෙකට වෙනස් වූ චරිත ඔස්සේ ප්‍රේක්ෂකයාට සමීප වූ රංගන ශිල්පිනියකි. මේ දිනවල හිරු ටෙලි තිරයේ විකාශය කෙරෙන ‘හතේ කල්ලිය‘ වැනි ටෙලි නාට්‍ය ඔස්සේ තම රංගන කෞශල්‍යය විදහාපාමින් මේ දිනවල නැවත ඇය ඔබේ ආලින්දයට එයි. ඇය රංගන ශිල්පිනි මනීෂා නාමල්ගමයි.
ඔබව දකින්න ලැබෙන්නේ කාලෙකින්?
නිර්මාණවලට දායක නොවුණාමත් නෙමෙයි. ව්‍යාපාර කටයුතු සහ නිවෙසේ කටයුතු එක්ක තෝර බේරා ගෙන බොහොම හෙමින් තමයි මම වැඩ කරන්නේ. ඒ දායක වුණු නිර්මාණ අතුරෙන් තුනක් තමයි මේ දිනවල විකාශය වෙන්නේ. තව නිර්මාණ හත අටක් පමණ විකාශය වෙන්න තියෙනවා.
බහුතරයක් මෙගා ප්‍රතික්ෂේප කරන වකවානුවක ඔබ තවමත් මෙගාවල රැඳී ඉන්නවා?
මෙගා නාට්‍ය ඇරැඹුණු යුගයේමයි ඔය ප්රශ්නය තදින් තිබුණේ. බොහෝ ප්‍රවීණ ශිල්පීන් එයට විරුද්ධ වුණා. නමුත් ඒ කියන ප්‍රවීණ ශිල්පින් ශිල්පිනියන්ගෙන් බොහෝ දෙනෙක් අද වෙද්දි කැමැත්තෙන්ම මෙගාවලට දායක වෙනවා. එහි මම වැරැද්දක් දකින්නේ නැහැ. තමන්ගේ වෘත්තීය රංගනය නම්, ජීවත් වෙන්න ආදායමක් අවශ්‍යයි. අනෙක ඉස්සරට වඩා දැන් හැදෙන නිර්මාණ ප්‍රමාණය අඩු වුණත් දවසින් දවස බිහිවෙන රංගන ශිල්පින් ශිල්පිනියන්ගේ ප්‍රමාණය වැඩි නිසා වෘත්තීය කලාකරුවන් විදිහට එවැනි නිර්මාණවලට දායක වෙන්න සිදු වෙනවා.
ඔබත් තවම වෘත්තීය රංගන ශිල්පිනියක්ද?
මොන දේ කළත් මම රංගන ශිල්පිනියක් කියන්න හරි කැමැතියි. රංගනය අහම්බෙන් තෝරා ගත් හෝ විනෝදෙට කරන දේකුත් නෙමෙයි. ඉඳල හිටලා කරන දේකුත් නෙමෙයි. රංගනය කියන්නේ මම බොහොම ගෞරවාන්විතව සලකන වෘත්තීයක්. එම වෘත්තියේ පුළුවන් තාක් කල් රැඳෙන්නයි මගේ බලාපොරොත්තුව.
වෘත්තීය කලාකරුවෙක් ලෙස ජීවත් වීම පහසු නෑ නේද?
අපේ රටේ කලාවෙන් විතරක් ජීවත් වෙන්න අමාරුයි. ඒ නිසයි මම ව්‍යාපාර ක්ෂේත්රයටත් යොමු වුණේ. මම ව්‍යාපාර පැත්තටත් බොහොම කැමැතියි. ඒ නිසා කාලෙකදී නිමි ඇඳුම් ව්‍යාපාරයක් සහ රූපලාවණ්‍ය ආයතනයක් ඇරැඹුවා. ආර්ථිකමය වශයෙන් ජීවිතේ ස්ථාවර කරගන්න මගේ පුංචි ව්‍යාපාරය බලපෑවා. නමුත් දැන් වෙද්දි ඒ ව්‍යාපාරික කටයුතුත් ගොඩක් අඩ පණ වෙලා, කළ යුතු නිසා කෙසේ හෝ නියැළෙමින් ඉන්නවා.
බොහෝ රංගන ශිල්පිනියෝ කලෙකදී රූපලාවණ්‍ය ශිල්පිනියන් වීමේ රැල්ලක් හැදුණා. ඔබත් ඒ රැල්ලට හසු වූ කෙනෙක්ද?
මම රූපලාවණ්‍යය හැදෑරුවේ සාමාන්‍ය පෙළ කරන කාලේ. ඒ නිසා රූපලාවණ්‍ය ක්ෂේත්රය මට අලුත් දෙයක් වුණේ නැහැ. ඉස්සර මට රූපලාවණ්‍යාගාර දෙක තුනක් තිබුණා. නමුත් දැන් ඒ තරම් ලොකු උනන්දුවක් නැහැ. රූපලාවණ්‍ය ආයතන අද නිකන් අඩියෙන් අඩියට තියෙන සිල්ලර කඩ බවට පත් වෙලා. වරක් අනෝජා අක්කාත් කියලා තිබුණා කොණ්ඩේ හදන්න ඕනෑ තරම් තැන් තිබුණට ඔළුව හදන්න තැන් නැහැ කියලා. ඒ කතාව නම් මං ඉහ මුදුනෙන් පිළිගන්නවා.
මනීෂා නීතිවේදිනියක් වෙන්න හීන දැකපූ කෙනෙක්?
ඔව්. මම කැමැති වුණේ නීතීවේදිනියක් වෙන්න. නමුත් මගේ තාත්තා කැමැති වුණේ නැහැ මම නීතිවේදිනියක් වෙනවට. අම්මාගේ කැමැත්ත තිබුණේ මම නිළියක් වෙනවට. රංගනයටත් පොඩි කාලේ ඉඳන් කැමැත්තක් තිබුණු නිසා කොහොම කොහොම හරි රංගන ශිල්පිනියක් වුණා.
නීතිවේදිනියක් වෙන්න දැකපු හීනේ හැබැ කරගන්න බැරි වීම ගැන පසුතැවීමක් නැද්ද?
පසුතැවීමක් නැහැ. මගේ තාත්තා එයට අකැමැති වෙන්න බොහොම සාධාරණ හේතුවක් තිබුණා. ඔහු අපට හැමදාම ඉගැන්නුවේ බොහොම සත්‍යවාදීව සාධාරණව ජීවත් වෙන්න. මට දැනුත් ඉගෙන ගෙන මගේ හීනේ හැබෑ කරගන්න පුළුවන්. එහෙම වුණොත් මම අසරණ මිනිස්සු වෙනුවෙන් නොමිලයේ සේවය කරයි.
මනීෂා දැන් නර්තන ශිල්පිනියක් ලෙසත් කල එලි බැහැලා නේද?
පහු ගිය දවස්වල රූපලාවණ්‍ය ශිල්පීන්ගේ සංසදයත් සමඟ එකතු වෙලා ‘රූ රෑ‘ නමින් රූපලාවණ්‍ය ශිල්පීන්ගේ එකතුවෙන් නර්තන ප්‍රසංගයක් කළා. ඒ වෙනුවෙන් පහු ගිය මාස තුනක් පුහුණුවකින් පසු ඉතා විචිත්‍රවත් ප්‍රසංගයක් කරන්න අපට හැකි වුණා. අපේ රූපලාවණ්‍ය ශිල්පීන් ශිල්පිනියන්ගේ නර්තනාංගවලට බොහොම හොඳ ප්‍රතිචාරත් ලැබුණා. ඒ ප්‍රසංගය නිසාම අපට තව ප්‍රසංග දෙකකට මේ වෙද්දි ආරාධනා ලැබී තියෙනවා.
තනිකමට දැන් ඔබ හුරු වෙලාද?
සැමියාගේ වියෝවෙන් බොහොම පාළුවක්, තනිකමක්, දුකක් තියෙනවා. ඔහු බොහොම ගුණ යහපත් පුද්ගලයෙක්. ඔහුගේ වියෝව දරා ගන්න බැරි වේදනාවක්. නමුත් මේ ජිවිතේ යථාර්ථයට මුහුණ දෙමින් ඉස්සරහට යා යුතුයි. දැන් ඔහු වෙනුවෙන් කළ හැකි තවත් යුතුකම් වගකීම් තියෙනවා නම් ඒ හැමදෙයක්ම් ඉටු කරමින් මගේ මව සහෝදරයෝ ඇතුළු ඥාතීන් වෙනුවෙන්ද මට කළ හැකි දේ කරමින් කාටවත් මගෙන් වැරැද්දක් නොවන විදිහට ජීවත් වෙන්න වග බලාගනිමින් ඉස්සරහට යනවා.
ටානියා මෝසස් - සිළුමිණ