අනියම් පෙමට ලොල් වී තම ලෙයින් උපන් දරුවන් දෙදෙනාට කරන්නට හැදූ අහස පොළොව නුහුලන අපරාධය
Friday, 22 November 2019 - 16:25 | Views - 368
උතුම් වූ මාතෘත්වයට නිගා දෙන මව්වරුන් අද සමාජයේ සිටිනවා. එවන් අයට කට පුරා 'මව' කීමට පුළුවන්කමක් නැහැ. එවැන් මවක් තම දරුවන්ට සිදු කළ අමානුෂික එසේම කෲර ක්‍රියාවක් පිළිබඳ පසුගිය දා අගලවත්ත පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා වූයේ කාගෙත් දෙනෙත් කඳුළින් තෙත් කරමිනුයි.
තමන් ලේ කිරි කර කවා පොවා හදාගත් දරුවන්ගේ ගෙල තම දෑතින් සිර කර මරා දමන්නට උත්සහ කළ තරමට මේ මව 'සැහැසි' වුණා. මේ දරුවන්ගේ පෙර පින් මහිම නිසා ඔවුන්ට ජිවිත දානය ලැබී තිබුණේ මවගේ උත්සහය ව්‍යර්ථ වී ගිය නිසයි.
"අද උදේ හතරට විතර මාවයි මල්ලිවයි ඇහැරවගෙන අම්මා අපි දෙන්නාව බයික් එකේ නග්ගගෙන ගිරිකොල පැත්තට අරන් ගියා. ඒ යන කොට අතර මඟදී අම්මා බයිසිකලය නතර කරලා මල්ලිගේ බෙල්ල මිරිකුවා..."
"අම්මා අපිට බයිසිකලයෙන් බහින්න කිව්වා. මල්ලි අම්මාගේ අත් දෙක ගසා දාලා දිව්වා. පස්සේ අම්මා මගේ බෙල්ල මිරිකුවා. මම අම්මාව තල්ලු කරලා දිව්වා. ඒ දුවනකොට අම්මා මගේ පස්සෙන් බයිසිකලෙන් ආවා..."
මේ එම මවගේ අමානුෂික ක්‍රියාවට ලක් වූ හයක් හතරක් නොදන්නා පුංචි පුතු කී කතාවයි. එම මව තම දරු දෙන්නාට සිදුකරන්නට ගිය සාහසික ක්‍රියාව මුළ සිට අගට පෙළ ගැසෙන්නේ මෙසේයි.
පොලේගොඩ, මහගම, උදටියාවල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන 39 හැවිරිදි තිදරු මවක් වන රුවිනි 2006 වසරේදී විවාහ වූයේ නොච්චියාගාම ප්‍රදේශයේ පදිංචි රත්නසිරි සමඟයි. ඒ පුවත්පතක පළ වූ මංගල දැන්වීමක් අනුවයි. විවාහයෙන් පසු සැමියාගේ නිවසට ගිය ඇය ඔහු සමඟ හොඳින් ජිවත් වුණා.
වඩු වැඩ කරමින් මුදල් ඉපැයූ ඔහු ඇයට කිසිම අඩුවක් කළේ නැහැ. අවුරුදු එකහමාරක් පමණ නොච්චියාගම පදිංචිව සිටි මේ අය නැවත රුවිනිගේ ගමට පැමිණ පදිංචි වූයේ රුවිනිට රැකියාවක් කිරිමට ඇති උවමනාව නිසායි.
විවාහයට පෙර සාමාන්‍ය පෙළ විභාගයට පවා පෙනී සිටි රුවිනි ඇගළුම් ආයතනයක වසර පහළොවක් පමණ සේවය කර තිබූ නිසාත්, මේ කාලය වන විට සැමියාගේ ආදායම ජිවත් වීමට ප්‍රමාණවත් නොවීම නිසාත්, ඇය සිය සැමියා හා දරුවන් සමඟ පොලේගොඩ, මහගම නිවසට පැමිණියේ නැවත වරක් රුවිනි පෙර රැකියාව කළ ආයතනයේ රැකියාවට යාමේ බලාපොරොත්තු ඇතිවයි.
මේ දෙපලට වයස අවුරුදු 10ක හා අවුරුදු 6ක පිරිමි දරුවන් දෙදෙනකු පමණක් වුවත් මෙම දරුවන්ට වඩා වැඩිමහල් දරුවෙකු රුවිනිට සිටියා. මේ වන විට ඔහුට අවුරුදු 18ක්. මෙසේ කාලය ගෙවෙද්දි 2016 දී සැමියා කොරියාවේ රැකියාවක් සඳහා පිටත්ව යන්නේ පවුලට යහපත් අනාගතයක් උදා කිරීම සඳහායි.
මේ අතර දිනක් නිවසේ විදුලිය විසන්ධි කරන්න පැමිණි පුද්ගලයෙකු සමඟ ඇය හිතවත්කමක් ගොඩ නගා ගත්තා. ඔහු විදුලිබල මණ්ඩලයේ කොන්ත්‍රාත් සේවකයෙකු ලෙස රැකියාව කළ අයෙක්. විවාහක දෙදරු පියෙකු වන මේ පුද්ගලයා හා රුවිනිගේ 'හිතවත්කම 'අනියම් ඇසුරක් දක්වා දුර දිග ගියේ සැමියා නොමැති නිවසේ ඔහුට උපරිම නිදහස තිබූ නිසාමයි.
ඒ ඇගේ සැමියා විදේශගත වී මාස හතරක පමණ කාලයකට පසුවයි. මුලින් රාත්‍රී කාලයට පමණක් නිවසට එන යන 'මාමා' පිළිබඳ රුවිනිගේ පුතුන් තිදෙනාද දැන සිටියා. ඔහු එම නිවසේ රුවිනිගේ සැමියාගේ තැන ගෙන කටයුතු කරන්නට වූයේ කිසිවෙකුගේ විරුද්ධත්වයක් නොමැති වූ නිසයි.
"මීට මාස හත අටක ඉඳලා එයා මට කොහේවත් යන්න දුන්නේ නෑ. මට වැඩකටවත් යන්න දෙන්නේ නෑ. කොහේ හරි ගියොත් එයා ළමයි දෙන්නා මරනවා කියනවා. මොකක් හරි වරදක් කළාම එයා දරුවන්ට පුංචි වේවැලකින් පහර දෙනවා. එයා ගහනකොට මම තමයි එයාලාව බේරගන්නේ.."
රුවිනිගේ අනියම් සැමියා එසේ පැවසුවේ ඔහු කොහේ හෝ ගියොත් ඇය දරුවන් මරණ බව පවසමින් තමන්ට ද තර්ජනය කරන බවයි.
කාලයත් සමඟ ඇය ඔහු තමන්ගේම නිවසේ නතර කර ගැනීමට ඇය කටයුතු කළේ එලෙසයි. පසුගිය අප්‍රේල් මාසය වනතුරුම කොරියාවට ගිය ඇගේ සැමියා මාසයකට රුපියල් ලක්ෂ දෙක බැගින් ඇයට එව්වා. එම මුදල් වියදම් කර ඇය නිවසේ ඉදිකිරීම් කටයුතු කළ අතර අනියම් සැමියාද සමඟින් විනෝද වෙමින් කල් ගෙව්වා.
එහෙත් අප්‍රේල් මාසයෙන් පසුව සැමියා රුවිනිට එවන මුදල පනස් දාහසක් පමණ අඩු ළේ ඇගේ මේ නොමනා සම්බන්ධය පිළිබඳ දැනගත් නිසාවෙනුයි.
"උඹට මම ආයේ කතා කරන්නේ නැහැ කියලා ඉමෝ අංකය අයින් කළා. කෝල් ගන්න බැරිවුණා. තෝ මැරුණට කමක් නෑ කියලා ෆෝන් එක තිබ්බා..."
පසුගිය දෙවැනිදා රත්නසිරි කොරියාවේ සිට ඇය සමඟ දුරකථනයෙන් එලෙස රංඩු වූයේ 'එවන සල්ලි වලට කරන්නේ' මොනවාදැයි බිරියගෙන් අසමිනුයි. ඔහු ඇයට කතා කිරීමට නොහැකි වන ලෙස දුරකථනයේ අංකය ද ඉවත් කළා.
එදින උදෑසන රුවිනි තම යතුරුපැදියෙන් දොඩංගොඩ ප්‍රදේශයේ රැකියාවකට ගොස් හවස් වරුවේදී නිවසට පැමිණියා. අනියම් සැමියා ද නිවසේ සිටියා. ඇගේ පතේ අමාරුව නිසා තේ එකවත් නොබී නිදාගත් ඔහු ඇහැරුණේ පොඩි දරුවාගේ කෑ ගැහිල්ලටයි.
"රුවිනි පොඩි දරුවාට වේවැලෙන් ගහලා දරුවාගේ බෙල්ල මිරිකනවා මම දැක්කා. පස්සෙ මම දැක්කා, පස්සෙ මම දරුවව බේරගත්තා..."
"බල්ලන්ට බත් දාලා උඹලත් කාලා නිදාගනිල්ලා. උඹලා කාමරයට එන්න එපා. පුටුව උඩට වෙලා හිටපල්ලා. උඹලට පොරවන්න රෙද්දක්වත් දෙන්නේ නෑ.."
ඇය එසේ දරුවන්ට බනින අන්දම අනියම් සැමියාට ඇසුණා. ඒත් ඔහු නිහඬව සිටියේ ඇය ගැන දන්නා නිසායි.
ඇයද ඔහු සිටි කාමරයේ ඇඳට වී නිදා ගනිද්දි දරුවන් සීතලේ සාලයේ පුටුව උඩ නිදාගත් අයුරු අනියම් සැමියා දුටුවත් ඔහු කිසිවක් කළේ නැහැ.
5 වසරේ හා 2 වසරේ ඉගැනුම ලබන මෙම නොදරුවන් දෙදෙනා එදින අළුයම 4 පමණ අවදි කරගත් ඇය ඔවුන් දෙදෙනා සිය යතුරුපැදියේ නංවාගෙන ගිරිකොල ප්‍රදේශයේ කැලෑවක් දෙසට ගෙන ගියේ කුමකටදැයි සැමියා දැන සිටියේ නැහැ. එහෙත් මේ අම්මා කළේ තම දෑතින් දරුවන්ගේ ගෙල සිර කිරීමයි.
"තාත්තා රට ගිහින් මාස දෙක තුනකට විතර පස්සේ අම්මා 'අඳුරන මාමා' කෙනෙක් අපේ ගෙදරට ආවා. එයා නැවතිලා ඉන්නවා. සමහරදාට එයා ගෙදර නෑ. ගොඩක් දවස්වලට ඉන්නේ අපේ ගෙදරයි. එයා නිදාගන්නේ අම්මත් එක්ක එක කාමරේ. මමයි මල්ලියි ඒ කාමරයේම තමයි ඉන්නේ. අනිත් කාමරේ අයියා.."
"අයියට අවුරුදු 18යි, එයාට රස්සාවක් නෑ. එයා පරවියන් ඇති කරනවා. දෙවැනිදා මම අම්මා එක්ක දෙමළ පන්ති, පරිගණක පන්ති ගියා. දෙකට විතර පන්ති ඉවර වෙලා ගෙදර ආවා. අම්මා තාත්තට කෝල් අරගෙන ෆෝන් එකෙන් රන්ඩු වුණා. ඒ රණ්ඩු වුණේ අම්මා යන එන තැන් වීඩියෝ කරලා තාත්තාට අරිනවා කියලා.."
"අම්මා අපිව පන්ති ගෙනියන් නැතුව වෙන ගමන් යනවා කියලා රණ්ඩු වුණා. තාත්තා ෆෝන් එක කට් කරලා අම්මාගේ නොම්මරය ලොක් කරලා. ඊට පස්සේ අම්මා තාත්තා නැවතිලා ඉන්න කාමරයට අල්ලපු කාමරේ ඉන්න සුරේෂ් මාමාගේ ෆෝන් එකට කෝල් කරලා තාත්තා මොනාද කරන්නේ කියලා බලන්න කිව්වා. තාත්තා නිදි කියලා සුරේෂ් මාමා කියලා.."
"අම්මා කිව්වා කාමරේට ගිහින් පොඩ්ඩක් ෆෝන් එක දෙන්න කියලා. ආයමත් අම්මයි තාත්තයි ෆෝන් එකෙන් රංඩු වුණා. පස්සෙ ෆෝන් එක තියලා රෑට ඉව්වා. ඒ වෙලාවේ මමයි මල්ලියි මාමයි අම්මයි විතරයි ගෙදර හිටියේ. අයියා 'මිහිර' අයියලාගේ ගෙදර ගිහින්. එනකොට වෙලාව හවස 7 ට ඇති.."
"අම්මා කෑම උයලා ඉවර වෙලා මල්ලිට බත් කන්න එන්න කිව්වා. මල්ලි පුටුව උඩ නිදාගෙන හිටියේ. එයා බත් කරන්න ගියේ නෑ. මට කිව්වා අම්මා වේවැල දෙන්න කියලා. මම ඒක දුන්නා. අම්මා මල්ලිගේ අත්වලට වේවැලෙන් ගහගෙන ගහගෙන ගියා. මල්ලිගේ බෙල්ලෙන් අල්ලලා බිත්තියට තද කරන් හිටියා. ඒ වෙලාවේ මාමා ඇවිත් අම්මව තල්ලු කරලා මල්ලිව බේරගත්තා.."
"පස්සේ අම්මා ලණුවක් අරන් බාත්රූම් එක ළඟ මඩුවට ගියා. පස්සේ මාමා මට කතා කරළා. මාමා කිව්වා කවුරුත් එතනට යන්න එපා කියලා. ටිකකින් අම්මා ඇවිත් මල්ලිව ඇදගෙන ගියා ගේ පිටිපස්සට. මාමා මට කිව්වා ගිහින් බලන්න කියලා. මම යද්දි අම්මා මල්ලිගේ බෙල්ලට ලණුව දාලා තද කරන්න හදනකොට මම ආපහු දුවලා ඇවිත් මාමාට කිව්වා.."
"මාමා ඇවිත් අම්මව අල්ලන් මල්ලිට කිව්වා දුවන්න කියලා. මල්ලි බෝක්කුව පැත්තට දිව්වා. මම අනිත් පැත්තට දිව්වා. දුවලා කඩේ හැංඟුණා. මල්ලි අහුවෙලා අම්මා මල්ලිව වීල් එකක දාගෙන ගෙදර අරන් ආවා මම දැක්කා. පස්සේ මාව හොයන්න අම්මා, මාමාව සීයාලා ගෙදර යවලා. එහේ නැති නිසා මාමා ආයේ එනකොට මම කඩේ ළඟ ඉන්නවා දැක්කා. පස්සේ මාවත් අරන් මාමා ගෙදර ආවා..."
"ගෙදර ආවට පස්සෙ මාමා මට 'බත් කන්න' කිව්වා. මම බත් කනකොට සීයා අපේ ගෙදර ආවා. එතකොට වෙලාව රෑ දහයට විතර ඇති. සීයා ආවට පස්සේ අම්මා කිව්වා, 'තෝව හොයන්න මහ එකා ඇවිත් ඉන්නේ' කියලා. මම බත් කකා ඉද්දි අම්මා මගේ වම් කකුලට බෙල්ට් එකෙන් දෙපාරක් ගැහුවා. මට රිදුණා. මම ගහන්න එපා කියලා ඇඬුවා. පස්සේ අම්මා කාමරේට ගියා. මට කිව්වා උඹලා කාලා බල්ලන්ට බත් දාලා දොරවල් වහලා ලයිට් ඕෆ් කරලා සාලේ පුටුවෙන් නිදා ගනිල්ලා කියලා. පස්සෙ මමයි මල්ලියි සාලේ පුටුවක් උඩ නිදා ගත්තා. අම්මයි මාමයි කාමරේ නිදාගත්තා.."
"අද උදේ 4ට විතර මාවයි මල්ලිවයි ඇහැරවගෙන අම්මා අපි දෙන්නව බයික් එකේ නග්ගගෙන ගිරිකොල පැත්තට ගියා. ඒ යද්දි පාලු තැනකදී අම්මා බයිසිකලය නතර කරලා මල්ලිගේ බෙල්ල මිරිකුවා. අපිට බයිසිකලෙන් බහින්න කිව්වා. මල්ලි අම්මාගේ අත් දෙක ගාසා දාලා දිව්වා..."
"පස්සේ අම්මා මගේ බෙල්ල මිරිකුවා. මම අම්මව තල්ලු කරලා දිව්වා. ඒ දුවද්දි අම්මා බයිසිකලෙන් මගේ පස්සෙන් ආවා. මම හැංඟුණා. අම්මා යනකන් ඉඳලා මම දුවලා දුවලා ආවා. ඒ එනකොට අම්මා ආයෙත් මල්ලිවත් අරගෙන ආවා. මම හැංඟුණා.."
"අම්මා මාව පහුකරගෙන ගියාට පස්සේ මම ආයෙත් දුවලා ආවා. මම 'පිඹුර' පැත්තට තමයි දුවගෙන ආවේ. ඇවිත් 'පිඹුර බොඩ්ලයින්' එක ගාව තියෙන බස් හෝල්ට් එකට ඇවිත් හැංඟුණා. මට බස් හෝල්ට් එකේදි නින්ද ගියා. ඇහැරෙන කොට එළිය වැටිලා. මම පොලිසියට එන්න අගලවත්ත පැත්තට ආවා.."
පසුදින උදේ රුවිනිගේ පොඩි දරුවාද රැගෙන මාමා පැමිණියේ අගලවත්ත පොලිසිය වෙතයි. ඒ රුවිනි කළ සාහසික ක්‍රියාව පොලිසියට පැවසීම සඳහායි.
"පාන්දර දෙකයි තිහට විතර පොඩි දරුවා කිව්වා 'මාමේ අයියා පැනලා දිව්වා, අපි යමු එයාව හොයන්න' කියලා. පස්සේ මම පොඩි දරුවත් එක්ක බයික් එකේ පොලේගොඩ හන්දිය ගාවට ආවා. දරුවා කිව්වේ වෙයන්ගල්ල පාරේ අයියා ගියා කියලා. පස්සෙ මම විස්තර ඇහුවා. අම්මා අයියවයි මාවයි බයික් එකේ දාගෙන ගිහිල්ලා අයියාගේ බෙල්ල මිරිකලා අයියව කැලේ දාලා ආවා කිව්වා.."
"දරුවා පාර පෙන්නුවා. ඒ පාර 'පිඹුර හාඩ්වෙයා' එක ළඟින් ගිරිකොල පැත්තට තියෙන පාරේ ටික දුරක් ගියා. ලොකු දරුවා හොයාගන්න බැරිවුණා. ගෙදර ඇවිත් රුවිනි එක්ක ඒ පාරේ ටික දුරක් ගිහින් බැලුවා. හොයාගන්න බැරිවුණා. මම පොඩි දරුවත් අරන් පොලිසියට ආවා. ලොකු දරුවාට මොනා වුණාද මම දන් නෑ.."
"රෑ පොඩි දරුවාට ගහලා බෙල්ල මිරිකන වෙලාවේ මම බේරගන්න ගිය වෙලාවේ මගෙත් එක්කත් රංඩු කරන්න ආවා. 'උඹ පැත්තට වෙලා හිටපන් මගේ ප්‍රශ්නවලට අතදාන්න උඹට වැඩක් නෑ' කියලා. රුවිනිව තල්ලු කරලා මං පොඩ්ඩා බේරගත්තා.."
"එයාව තල්ලුවෙලා ගිහින් බිත්තියේ වැදුණා. මම පොලිසියට දරුවා බාර දෙනවා. මම ඉල්ලන්නේ දරුවෝ දෙන්නාගේ ආරක්ෂාව තහවුරු කරන්න කියලයි.."
පොලිසිය පොඩි දරුවා හා මාමා සමඟ ලොකු දරුවා සෙවීමට යන විට ඔහු හොරණ - බුලත්සිංහල හරහා මතුගම ප්‍රධාන මාර්ගයේ අගලවත්ත දෙසට පා ගමනින් පැමිණෙමින් සිටියේ පණ ගැහෙමින් විය යුතුයි. ඒ තම මව මුණ ගැසේවී කියායි.
එහෙත් පොලිස් ජිප් රථයට ඔහු ගොඩ වූයේ කියා ගත නොහැකි සතුටකිනුයි. පොලිසියේ 'නැන්දලා මාමාලා' මේ නොදරුවන්ට කන්නට බොන්නට දී ආදරයෙන් ළඟට ගෙන කතා කර ඔවුන්ගේ කුඩා සිත් සැනසීමට කටයුතු කළේ මවගේ කෘර වධහිංසාවලට ලක්ව මල්වැනි ඒ හිත් තැලී පෙලි තිබුණ නිසායි.
සැකකාරිය වන දරුවන්ගේ මව අත්අඩංගුවට ගැනෙන්නේ මේ අනුවයි.
"මම ළමයින්ට ඇති වෙනකං ගැහුවා. පස්සේ අපි තුන්දෙනාම මැරෙන්න තීරණය කළා. පොඩි දරුවාගේ බෙල්ල මිරිකන්න හැදුවා. ලොකු දරුවා පැන්නා. පස්සේ අනියම් පුරුෂයා කෑ ගහගෙන ආවා. මට කේන්ති යනවා. එදා මට පාන්දර 3.15 විතර ඇහැරුණා. මට ආයෙත් කේන්ති ගියා. මම දරුවෝ දෙන්නා ඇහැරගෙන යතුරු පැදියෙන් ගියා. දරුවන්ව මරනවා කියලා මම යතුරුපැදිය නතර කළා. ලොකු දරුවා පැන්නා. දෙවන දරුවා ළඟට ගත්තා පස්සේ මම දරුවාට කීවා අයියට කතාකරන්න කියලා. ලොකු දරුවා ආවේ නෑ. මම නැවත පොඩි දරුවා අරගෙන ගෙදර ගියා. එනකොට පාන්දර වෙලා.."
"අනියම් සැමියාට දරුවන් සොයාගෙන එන්න කියලා කිව්වා. මාවත් අරගෙන පිඹුරෙන් බස්සලා ළමයි දෙන්නා අනියම් පුරුෂයා අරගෙන ආවා. පුරුෂයා ඉදිරියට ආවා. දරුවන් දෙන්නා මරන්න තමයි තීරණය කළේ. නමුත් එයාලා පැනලා දිව්වා.."
ඇය එසේ පොලිසිය හමුවේ පාපොච්චාරණය කළා. ස්වාමිපුරුෂයාට ඇය එපා වූ නිසා දරුවන් මෙලෙස ඝාතනය කිරීමට උත්සහ කළ බව ඇය පවසා සිටියා.
දරුවන් දෙදෙනා රුවිනිගේ මවට බාර දීමටත්, සැකකාරිය අධිකරණය මඟින් බන්ධනාගාර ගත කිරීමටත් කටයුතු කෙරුණා.
කීර්ති මෙන්ඩිස්
Share This Article