"ලීවින්ග් නෙවර්ලෑන්ඩ්"( Leaving Neverland) වාර්තාමය චිත්රපටයට "එමී" සම්මානය පිරිනැමීමට ගත් තීරණය "සහමුළින්ම තේරුමක් නැති විගඩමක්" හැටියට මයිකල් ජැක්සන් වතුයායේ පරිපාලනය විසින් හඳුන්වා දෙනු ලැබ ඇත.
ඇමෙරිකානු සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන් විසින් ළමා වියේදී තමන් අපචාරයට ලක් කරන ලදැයි පවසන දැනට වැඩිහිටිවියේ පසුවෙන පුද්ගලයන් දෙදෙනෙකු ඉලක්ක කර ගනිමින් නිර්මාණය කරන ලද "ලීවින්ග් නෙවර්ලෑන්ඩ්"( Leaving Neverland) වාර්තාමය චිත්රපටය ගැන පසුගිය මාර්තු මාසයේ පළමුවරට ප්රකාශයට පත් කෙරුණි.
"සහමුලින්ම ප්රබන්ධයක් වන චිත්රපටයකට 'එමී' සම්මාන උළෙලේ 'ප්රබන්ධාත්මක නොවන' (non-fiction Emmy category )වර්ගීකරණ රාමුවක් තුළ සම්මාන පිදීමට යාම සහමුළින්ම විගඩමක් වන බවත් මයිකල් ජැක්සන් වතුයාය කියා සිටියි.
චිත්රපටය මගින් පෙන්නුම් කරනු ලබන ප්රකාශන තහවුරු කෙරෙන එකම සාධකයක් හෝ එහි අන්තර්ගත නොවන බව මයිකල් ජැක්සන් වතුයායේ ස්ථාවරය වෙයි.
"එමී නිර්මානාත්මක කලා නිර්මාණ" සම්මාන උළෙල සති අන්තයේ ආරම්භ වීමට පෙරම "ලීවින්ග් නෙවර්ලෑන්ඩ්"( Leaving Neverland) වාර්තාමය චිත්රපටය සම්මාන පහක් සඳහා නිර්දේශ කරනු ලැබ ඇති අතර, ප්රබන්ධාත්මක නොවන (විශේෂ) හෝ එසේ නැත්නම් අතිවිශිෂ්ඨ වාර්තාමය චිත්රපටයට හිමි සම්මානය දිනා ගැනීමේ මාවතට ප්රවේශ වී ඇත.
චිත්රපටය අධ්යක්ෂණය කරනු ලැබ තිබෙන්නේ ඩෑන් රීඩ්(Dan Reed) විසිනි.
මයිකල් ජැක්සන් අතින් අපචාරයට ලක්විනැයි පවසන ජේම්ස් සේෆ්චුක්(James Safechuck) සහ වේඩ් රොබ්සන්(Wade Robson) යන දෙදෙනා සමඟ පැවැත්වූ සාකච්ඡා දෙකක් චිත්රපටයට ඇතුළත් කරනු ලැබ ඇත.
තමන් එම අපචාරයට ගොදුරු වෙනවිට පිළිවෙලින් හත් හැවිරිදි සහ දස හැවිරිදි වියේ පසු වූ බව ජේම්ස් සහ වේඩ් පවසති.
මයිකල් ජැක්සන් එම අවධියේ තමන් දෙදෙනා සමඟ පමණක් නොව තම පවුල් සමඟත් මිතුරු සබඳතා පැවැත්වූ බවත් ඔවුන්ගේ ප්රකාශන මගින් කියැවෙයි.
එමී සම්මාන සඳහා සිය චිත්රපටය නම් කරනු ලැබීමෙන් අනතුරුව ප්රකාශයක් කළ අධ්යක්ෂ ඩෑන් රීඩ්(Dan Reed)එවැනි පිළිගැනීමක් ලැබීම චිත්රපටයට හවුල් වූ සියලු දෙනාම ලද උසස් ජයග්රහණයක් බව සඳහන් කළේය.
"පසුගිය මාර්තු මාසයේ ලීවින්ග් නෙවර්ලෑන්ඩ්( Leaving Neverland) චිත්රපටය ගැන ප්රචාරය කෙරුණ දවසේ පටන් ළමා ලිංගික අපචාර සහ එවැනි ක්රියාවන්ට සහයෝගය දෙන්නන් පිළිබඳව බොහෝ වැදගත් සංවාද - සාකච්ඡා ආරම්භ වුණා" අධ්යක්ෂ ඩෑන් රීඩ්(Dan Reed) ප්රකාශ කළේය.
ඒ නිසා තමයි - ජේම්ස් සේෆ්චුක්(James Safechuck) සහ වේඩ් රොබ්සන්(Wade Robson) යන දෙදෙනාත්, ඒවගේම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයනුත් මේ අපචාර ගැන අදහස් දක්වන්න යොමු වුණේ. ඒ නිසා තමයි-අපි මේ වාර්තාමය චිත්රපටය නිර්මාණය කළේ" අධ්යක්ෂවරයා වැඩි දුරටත් සඳහන් කළේය.
"මේ අරමුණට 'එමී ඇකඩමි' සම්මාන පිදීම ගැන අපි අතිශයින් සතුටට පත්වෙනවා"
එහෙත් එම ජයග්රහණයෙන් අනතුරුව ජැක්සන් වතුයාය "හොලිවුඩ් රිපෝටර්" (Hollywood Repotar)වෙත ප්රකාශනයක් යොමු කරමින් 'ලීවින්ග් නෙවර්ලෑන්ඩ්'( Leaving Neverland) චිත්රපටයේ අන්තර්ගත කාරනා තහවුරු කෙරෙන ඉතා සුළු සාධකයක් හෝ ඇතුළත් නොවන අතර, එය ඒකපාර්ශ්වීය නිර්මාණයක් වන බව සඳහන් කර ඇත.
ලබන ජනවාරි මාසයේ (2019) 'සන්ඩන්ස්' චිත්රපට උළෙලේ (Sundance Film Festival)මංගල දර්ශනය සඳහා ලීවින්ග් නෙවර්ලෑන්ඩ්( Leaving Neverland) චිත්රපටයට ආරාධනය කරනු ලැබීම ප්රකාශයට පත් කෙරුණ වහාම ජැක්සන් වතුයාය එය විග්රහ කරන ලද්දේ "ටැබ්ලොයිඩ් පන්නයේ චරිත ඝාතනයක්" හැටියටය.
එසේම එම නිර්මාණය 'වාර්තා චිත්රපටයක්' නොවන බවත් ඔවුහු කියා සිටිති.
bbc සිංහල