තහනම ගැන ලිඛිත දැනුම් දීමක් නැහැ - ලක්ෂ්මන් යාපා
Sunday, 15 September 2019 - 20:58 | Views - 357
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව වෙනත් පක්ෂවලට සහය දැක්වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් කළ කරුණු දැක්වීම්වලින් සෑහීමකට පත් විය නොහැකි බැවින් ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට පියවර ගත් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.
කුරුණෑගල දී ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කර විනය පරීක්ෂණ ආරම්භ කිරීමට කටයුතු කරන බවයි.
පසුගිය 4 වනදා දින 7 ක් තුළ කරුණු දක්වන ලෙස දන්වමින් මන්ත්‍රීවරුන් වන එස්.බී.දිසානායක, ඩිලාන් පෙරේරා, ඒ.එච්.එම් ෆවුසි, විජිත් විජයමුණි සොයිසා සහ ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන එම මන්ත්‍රීවරුන්ට එරෙහිව නිදහස් පක්ෂය ලිපි යොමුකළා.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන කියා සිටියේ විනය පරීක්ෂණ හෝ පක්ෂ සාමාජිකත්වය තහනම් කළ බවට මෙතෙක් තමන්ට ලිඛිතව දැනුම් දී නොමැති බවයි.
එමෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙන ඇති මෙම තීරණයේ කිසිදු නීත්‍යානුකූල පදනමක් නොමැති බවයි.
Share This Article