ආයු වැඩි කරන නිර්මාංශ ආහාර
Wednesday, 04 September 2019 - 9:53 | Views - 2,446
‘අධික ප්‍රෝටීන් අඩංගු නිර්මාංශ ආහාර වේලකින් මිනිසාගේ ආයු කාලය/නිරෝගී බව වැඩි කෙරෙන බව හෙළි වේ’
මස් මාංශවලින් තොර එළවළු හා පලතුරුවලින් සපිරි ආහාර වේලක් ලබා ගැනීම නිරෝගී දිවියකට මග පාදන බව කලක සිටම පර්යේෂකයින් විසින් පෙන්වා දෙනු ලැබූ කරුණකි.
ජපානයේ මහජන සෞඛ්‍ය විද්‍යාව පිළිබඳ මධ්‍යස්ථානයේ විද්‍යාඥයින් පිරිසක් විසින් ජපානයේ වැඩිහිටියන් සම්බන්ධයෙන් වසර 20ක කාලයක් මුළුල්ලේ සිදු කරන ලද අධ්‍යයනයකට අනුව ප්‍රෝටීන් අධික එළවළු සහිත නිර්මාංශ ආහාර වේලකට හුරු වීමෙන් මිනිසාට දිගු කලක් ජීවත් වීමටත් නිරෝගී සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගෙන යාමටත් උපකාරී වන බව අනාවරණය කරගෙන තිබේ .
එමෙන්ම එවැනි ආහාර වේලකට හුරු වීමෙන් කුමන හේතුවක් නිසා හෝ මිය යෑමේ අවදානම අඩු බවද එම අධ්‍යයනයේදී හෙළි වී තිබේ. එයට හේතු වශයෙන් පර්යේෂකයන් විසින් දක්වනුයේ නිර්මාංශ ආහාර වේලකට අයත් ශාකමය ආහාරවල ඇති ප්‍රෝටීන් ය.
බටහිර රටවල ආහාර වේල වැඩි වශයෙන් රතු පැහැති මස් හා සකස් කරන ලද ආහාර වලින් සමන්විත වීම නිසා, බටහිර ජාතිකයින් හෘද රෝග හා ස්ථුලභාවය ආශ්රිත රෝගවලින් මිය යෑමේ අවදානම ඉහල මට්ටමක පවතින බව පෙනී ගොස් තිබෙන්නකි.
නිර්මාංශ ආහාර වේල පිළිබඳව නවතම අධ්‍යයනය සිදු කළ ජපන් පර්යේෂකයන්ට අනුව මස්වලින් සකස් කරන ලද ‘ස්ටීක්’ නමැති ආහාරය ආහාරයට එක් කරගන්නවාට වඩා ටෝෆූ හෙවත් සෝයා, ඇටවර්ග වැනි අධික ප්‍රෝටීන් අඩංගු නිර්මාංශ ආහාර එක් කර ගැනීම මරණීය අවදානම කපා හැරීමට හේතු වේ. මෙම අධ්‍යයනය සඳහා වැඩිහිටි ජපන් ජාතිකයින් 70,696 දෙනෙකු සහභාගී කරගෙන ඇති අතර පසු ගිය දශකවලදී ජපානය ඇතුළු ආසියාතික කලාපීය රටවල නිර්මාංශ අධික ප්‍රෝටීන් ආහාර වේල් අතිශයින් ජනප්‍රියත්වයට පත්ව තිබෙන බවද මෙහිදී අනාවරණය වී තිබේ. එවැනි ආහාර වේලක් ලබා ගැනීමෙන් ආහාර අරුචිය අඩු කර ගැනීමට හේතු වීමත් ශරීරයේ බර අඩු කර ගැනීමට හා මාංශ පේශීන් වර්ධනය කර ගැනීමට හැකි වීමත් මෙම තත්ත්වයට හේතු වී ඇත.
Share This Article